වනාතමුල්ලේ වියන් ගොඩයා, රටවැසි මාධ්‍යවේදිනියකට කිච වූ මරියකඩේ හරහා…

0
639

“..ඒයි..!, වනාතෙ පාට් මෙතැන දාන්ඩ එන්ඩ එපා අරි ද ?..”

පුරවැසි බලය යැයි කියාගන්නා එකතුවේ මාධ්‍ය හමුවේ දී, මාධ්‍යවේදිනියක් හෝ මාධ්‍යවේදියෙක්, ගාමිණී වියන්ගොඩ නමැති රටවැසියාගෙන්, එසේ ඇසුවා නම්, “මරියකඩේ පාට් දාන්න එපා..” යැයි, පෙරළා පිළිතුරු දුන්නාට කම් නැතැයි, මාගේ මාධ්‍ය හිතවතෙක් මා සමඟ පැවැසීය. මේ උපුටනයට හේතු වූයේ, ඊයේ (2018 ජුනි 29) දිනයේ දී කොළඹ දී පැවැත්වූ බව කියන මාධ්‍ය හමුවක් රූපවාහිනියෙන් ග්‍රහණය වීමයි.

වත්මන් සමාජය හමුවේ, පාලන අධිකාරිය විසින් සිදුකරන නොපනත්කම්, දූෂණ, වංචා, හොරකම් නෑසූ කණින් සිටින තුන් කට්ටුවක් මූලිකත්වය ගෙන කිසිදු සූදානමක් හෝ දත්තවලින් තොරව පැවැත්වූ මාධ්‍ය හමුවක් ලෙස එය හැඳින්විය හැකි ය. විශේෂයෙන් ම, ශ්‍රී ලංකාවට හා හිටපු පාලකයින්ට සතුරු ආකල්පයක තවමත් කල්ගෙවන රාජ්‍යයක, පලවන පුවත්පතක පල වූ ලිපියක් පමණක් ගෙනහැරපාමින් මාධ්‍ය ආයතන රස්තියාදු කරවීමට එරෙහිව නැගුණු හඬක් ලෙස මම එ් අවස්ථාවේ ඇතිවූ සිදුවීම ග්‍රහණය කරගත්තෙමි.

පුවත්පතක පලවී ඇති ලිපියක් ඒ ලෙසින් ම කියැවූ පසු, එය වාර්තා කරන ලෙස, මේ මාධ්‍ය හමුවේ දී එහි කැඳවුම්කරුවෝ, මාධ්‍යවේදීන්ට කිහිපවිටක් ම නියෝග කරනු දක්නට හැකි වී ය. ඒ අවස්ථාවට අනුව, පෙරළා ප්‍රශ්න කරන කරන මාධ්‍යවේදිනිය ඇතුළු මාධ්‍යවේදීන් කිහිපදෙනා මේ තුන්කට්ටුවෙන් අසනුයේ, මේ පත්තරයේ පළ වී ඇති දෙය ම පැවැසීම හැර වෙනත් යමක් ඔබ හෙළිදරවු නොකරන්නේ ද යනුවෙනි. එය සාධාරණ පැනයකි.

දිගින් දිගමට මාධ්‍ය වෙතින් පැන කිහිපයක් ම නැගෙද්දී, චීවරධාරී දඹර අමිල මෙන්ම, පිරිමි හෙදියක් වන සමන් රත්නප්‍රිය හා ගාමිණී වියන්ගොඩ නමැති ග්‍රන්ථ පරිවර්ථකයා අසීරුවට පත්වන්නට වී ය. මොවුන් මෑතක සිට පෙනී සිටින්නේ සංහිඳියාව සහ යහපාලනය වෙනුවෙනි. පුරවැසි තේමාව ඉහළින් තබාගනිමින්, සමාජ සාධාරණත්වය දේශනාකරන මොවුන් මෑතක සිට කාලය ගෙවනුයේ ගුල් ගතව ය.

සැලසුම් සහගතව ක්‍රියාවට නංවන ලද, නිව්යෝර්ක් ටයිම්ස් ලිපිය සමඟ මේ තුන්කට්ටුව එකට යළි කරළියට පැමිණියේ ය. මහ බැංකුවේ මහා මංකොල්ලය ගැන මොවුන්ගේ කටේ පිට්ටු ය. රජයේ මැති ඇමතිවරු දස අතේ දුවමින් සිදුකරන අමනමැර ක්‍රියා සහ දූෂණ පිළිබඳව මොවුන් නිහඬ ය. රට පුරා පාතාල ක්‍රියා ඔඩු දුවමින් මිනීමැරුම් , මංකොල්ල හා අපරාධ සිදුවන බවක් මොවුන් නො දන්නා සේ ය. එහෙත් නින්දෙන් ඇහැරුණා සේ, නිව්යෝර්ක් ටයිම්ස් ලිපියක් ගැන උස් හඬින් දේශනා ය.

සමානාත්මතාව හා පුරවැසි අයිතීන් ගැන දෙසන, වියන්ගොඩ රටවැසියා මේ මාධ්‍ය හමුවේ දී වර්ගවාදී හා ප්‍රාදේශීයවාදී කුහක මනසින් යුතු බව ප්‍රකට කළේ, එහි සිටි මාධ්‍යවේදිනියකට මරියකඩේ උපමා කරමිනි. ඒ සැනින්, වියන්ගොඩට පිළිතුරු දුන් මාධ්‍යවේදිනිය කියා සිටියේ, වියන්ගොඩ මරියකඩේ ඉපදුණාට තමන් එසේ නොවන බවත්, අසත්‍යය ප්‍රකාශ කිරීමට හා පදනම් විරහිත දෑ ප්‍රකාශ කිරීමට මාධ්‍ය කැඳවීම නොකරන ලෙසත් ය.

සැබැවින් ම, ගාමිණී වියන්ගොඩ ඉපදුණේ කොළඹට නුදුරු, වනාතමුල්ලේ ය. වනාත ගැන රට ම දනී. එහෙව් තැනක හැදුණු වැඩුණු එකෙක්, මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදිනියක් මරිය කඩේට සමාන කිරීම පුදුම සහගත ය. ඒ මගින් එක් පසෙකින් මොවුන්ගේ නිරුවත ප්‍රකට වී ය. ඒක පාර්ශවීයව සිටගෙන, රාජපක්ෂ භීතිකාව ම සහ වෛරය වපුරවමින් මොවුන් සේවය කරන්නේ කාටද යන්න පැහැදිලි ය.

රාජපක්ෂ පාලන සමය නිවැරදි හෝ සර්වතෝභද්‍රයැයි අපි නොකියමු. එහෙත්, අද සිදුවන දේ සහ රට පත්ව ඇති තත්ත්වයට අනුව රාජපක්ෂ පාලන කාලය මිට වඩා සාධනීය බව දැනෙයි. මේ පුරවැසි ලේබලයන්ට නොපෙනුනාට හා නොදැනුනාට, රටවැසියන් ඒ බවක් වටහාගනිමින් සිටී. පසුගිය පලාත් පාලන මැතිවරණයේ දී ඒ බව ලොවට ම ඒත්තු ගියේ ය. ඒ ප්‍රතිඵලයෙන් බියට පත් වූ, මේ වන්දිභට්ට, සට්ටැඹි මෙන්ම ඒකපාර්ශවීය කේවට්ට රාළලා නන් දෙඩවීමට පටන්ගෙන ඇත. නිව්යෝර්ක් ටයිම්ස් පාදක කරගත් මාධ්‍ය හමු වැහිවහින්නේ ඒ නිසා ය. දියෙහි ගසාගෙන යන්නාට, තණ හුයත් අගයවත් වන්නා සේ, පෙර පාලන සමයට කොන්දේසි විරහිතව පහර දෙන ඕනි ම කුම්මැහියකට, මේ සට්ටැඹි රාළලා දිව දික් කරති.

මේ මාධ්‍ය හමුවට ගොස් සිටි මාධ්‍ය සේවකයින් ද නිව්යොර්ක් ටයිම්ස් අදාළ පුවත නිසි ලෙස අධ්‍යයනය නොකර ඊට ගොස් සිටි බවක් ද දිස් වි ය. නිවැරදිව පෙරළා ප්‍රශ්නයක් නැඟුවේ නම්, ඒ පුවත, ශ්‍රී ලංකා රජයේ ආරංචි මාර්ග මත පදනම්ව ගොතන ලද්දක් බව, ඒ ලිපියේ ම නොවන්නේ දැයි ප්‍රශ්න කළ යුතුව තිබුණි. එමෙන් ම මේ ආකාරයට, මෙතෙක් විදෙස් මාධ්‍ය හමුවේ දිගහැරුණු සියලු කතාන්දරයන්ට පිළිතුරු දෙන්නේ දැයි අසන්නට තිබුණි. තවද…

# වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට, ඕස්ට්‍රේලියානු අල්ලස් චෝදනා නැද්දැයි අසන්නට තිබුණි.
# රනිල් වික්‍රමසිංහ විසින් ම චරිත සහතික ලියා දී, පාර්ලිමේන්තුවට ද සහතික වී ගෙනා අර්ජුන් මහේන්ද්‍රන් ට, දැන් ඔහු වගනොකීම ගැන මේ සට්ටැඹිරාළලා, නිහඬ මන්දැයි අසන්නට තිබුණි.
# සියලු පවු රවී කරුණානායක පිටින් යවා, කබීර් හෂීම් හා මලික් සමරවික්‍රම නිරුපද්‍රිතව සිටින්නේ කෙසේ දැයි අසන්නට තිබුණි.
# මූල්‍ය අපරාධ කොට්ඨාසය නීති විරෝධී නොවන්නේ කෙලෙසක දැයි අසන්නට තිබුණි.
# රටට වැදගැම්මකට නැති මැති ඇමතිවරු මේතරමට පැටවු ගහන්නේ, මොවුන්ද හවුලේ දුන් පොරොන්දු ප්‍රකාරවදැයි අසන්නට තිබුණි.
# ඒ ඇමතිවරු අමනවිදියට හැසිරීම, මොවුන් ගෙනා යහපාලනය දැයි අසන්නට තිබුණි.
# සත්‍ය වශයෙන් ම දැන් පවතින්නේ සම්මුතිවාදී ආණ්ඩුවක් දැයි අසන්නට තිබුණි.
# සම්මුතිවාදී ආණ්ඩුවේ ගිවිසුම් කාලය කොපමණක් දැයි අසන්නට තිබුණි.
# මේ ආකාරයට ඇමති පැටවු ගසන්නේ, ඒ සම්මුතියට අනුව දැයි අසන්නට තිබුණි.

ඒ මාධ්‍ය හමුවේ දී, මාධ්‍ය ආයතන දේශපාලනය කිරීමක් ගැන ද සඳහන් වී ය. එයට පිරිමි හෙදියක් වන සමන් රත්නප්‍රිය පළමුව පිළිතුරු දුන් අතර, දෙවනුව ඊට ගෙදරයනගමන් පිළිතුරක් දෙන්නේ, චමීර පෙරේරා ය. චමීර පෙරේරා නිතර පෙනී සිටින්නේ සිරස රූපවාහිනියේ ය. සිරස හිමි මහාරාජාගේ දේශපාලන වුවමනා එපාකම් වෙනුවෙන් ඒ නාලිකව ම පමණක් බොහෝවිට බදුගෙන, මොර දෙන චමීර පෙරේරා, මාධ්‍ය ආයතන දේශපාලනයේ නියැලීම ගැන උත්තර දෙන්නට වාරය අත්පත්කරගැනීමම මේ මාධ්‍ය හමුවේ හාස්‍යජනක ස්වභාවය ඉහළ නැංවීමට සමත්වී ය.

කෙසේ වෙතත්, විදෙස් රටවල් ඍජුව හා වක්‍රව මේ සියලු දේශපාලන පක්ෂවලට මුදල් දීම අහඹුවක් නොවන බව නම් අපි දනිමු. රාජපක්ෂලා විදෙස් රටවලින් දුන් මුදල් නොගත්තා යැයි මම නොකියමි. එසේ මුදල් දී ඇති එකම සමාගම මෙය පමණක් යැයි මම නොකියමි. මේ සත්‍යය වත්මනෙහි දේශපාලනයේ නියැලෙන සියලු ප්‍රධාන දේශපාලන පක්ෂවලට පොදු ය. කුහකවතින් බැහැරව මේ සත්‍යය රට ම තේරුම්ගත යුතු ය. යමෙක් එය සඟවා, රාජපක්ෂලා ට පමණක් ඇඟිල්ල දිගුකිරීම නොපමාව හෙළා දකිමි. පුරවැසියා යනු එවැන්නෙකි.

මේ ලියුම්කරුට ද සජීවී අද්දැකීම් ඇති, 1994 න් මෙපිට රට පාලනයට හවුල් වූ බහුතරයක් සමඟ සමීප ඇසුර හේතුවෙන් හා මාධ්‍ය අද්දැකීම් ඇසුරෙන් මේ ලියුම්කරුට ද බොහෝ දේ පැවැසිය හැකි ය. අකමැත්තෙන් වුවත්, ජේ. ආර්. ජයවර්ධනගේ කීමකට නතුවන හෙයින්, මාගේ ආරක්ෂාව මට ම සපයා ගැනීමේ නිර්ණායකය මත ලිවීම සීමා කර ගනිමි. (අසල්වැසියාගේ මුදල් ගැන කතා කිරීමට ගොස් දිවියෙන් සමුගත් බවට ප්‍රසිද්ධ රහසක් වන පියල් පරාක්‍රම චරිතය මේ ලිපිය ලියන මොහොතේත් සන්නිවේදනය කරන්නේ මාගේ මාධ්‍ය මිතුරෙකි. ඒ ඔවදන් ද වටී.)

එහෙත්, බාධක මැද වුව ද, පුරවැසි බලයන් වැනි කට්ටුන්ගේ ක්‍රියාවන් ඒක පාර්ශයවීය හා වෛරීසහගත බැවින් අපි ඊට විරුද්ධ ය. මන්ද යත් ඇස්පනාපිට පවතින තත්ත්වය නොපෙනුනා සේ, ආරංචිමාර්ග හා කැලෑ පත්තර ඔසවාගෙන කරන විගඩම් රට තවත් ප්‍රපාතයට හෙලන බැවිනි. වත්මන් පාලකයා ද නිවැරදි කර නොගෙන, හිටපු එකාගේ අදිසි දූෂණයන් අතිශයෝක්තියෙන් වැනීම, රටවැසියා තේරුම් ගත් විට සිදුවන විනාශය ද සුළුපටු නොවනු ඇත. මන්ද යත්, ඊලඟට එන පාලකයා ද, නිවැරදි කරගැනීමට නොහැකි උද්දච්ච එකෙක් ලෙස යළිත් ස්ථානගතවීමට, මේ සෙප්පඩවිජ්ජා ඉවහල් කරගන්නා බැවිනි.

# සටහන :
ජනිත් විපුලගුණ
(2018 ජුනි 30 – මාතොට දී ය)

[email protected]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here