රටත් ජනතාවත් අභියෝගයන්ට, දුෂ්කරතාවයන්ට, මුහුණදී ජයග්‍රහණ ලැබීමට බුදු දහමේ ආභාසයෙන් ලත් ශක්තිය ඉවහල්වුණා

0
337

අතීතයේ සිටම අප රටත් ජනතාවත් නොයෙකුත් අභියෝගයන්ට, දුෂ්කරතාවයන්ට, මුහුණ දුන්නද ඒවා හමුවේ නොසැලී සිටීමට හා ජයග්‍රහණ ලැබීමට බුදු දහමේ ආභාසයෙන් අප ලත් ශක්තිය හේතු වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙසක් දින පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ විද්‍යාවේ දියුණුවත් සමඟ බොහෝ ඉගැන්වීම් අභියෝගයට ලක්වන නමුදු බුදු දහමේ ඇති විශේෂත්වය වන්නේ විද්‍යාවේ දියුණුවත් සමග එය තව තවත් තහවුරු වන බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් නිකුත් කළ සම්පූර්ණ වෙසක් දින පණිවිඩය පහතින් දැක්වේ.

“වෙසක් දිනය ලොවපුරා බෞද්ධ ජනතාවගේ උතුම්ම දිනයයි. ඒ, මිනිසා විඳින සසර දුකෙන් මිදෙන ඒකායන මාර්ගය පෙන්වා වදාළ අප මහා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය, සම්බුද්ධත්වය හා පරිනිර්වාණය යන තෙමගුල සිදුවූ දිනය වන හෙයිනි. අපගේ ඓතිහාසික මූලාශ්‍ර වල කියවෙන පරිදි, මේ පුංචි දිවයින උන්වහන්සේගේ පා පහසින් ආශීර්වාද ලබන්නට තෙවරක්ම වාසනාවන්ත වූ අතර, ලාංකේය සංස්කෘතියේ පදනම, ශක්තිය, ජීවනාලිය වන්නේ බුදුදහමයි. අතීතයේ සිටම අප රටත් ජනතාවත් නොයෙකුත් අභියෝගයන්ට, දුෂ්කරතාවයන්ට, මුහුණ දුන්නද ඒවා හමුවේ නොසැලී සිටීමට හා ජයග්‍රහණ ලැබීමට බුදු දහමේ ආභාශයෙන් අප ලත් ශක්තිය හේතු වූ බව නොරහසකි.

පිරිසිදු ථෙරවාද බුදුදහම පවතින රටක් ලෙස පැවතීමට අපගේ මේ පින්බර දිවයින වාසනාවන්තය. එසේ වුවද, වර්තමානයේ දුෂ්ඨ බලවේග අතින් පෙර නොවූ විරූ අන්දමින් ශතවර්ෂ ගණනාවක් මුලුල්ලේ මේ රටේ බුදුදහම රැකගෙන ආ මහා සංඝරත්නය අභියෝගයට, ගර්හාවට, පීඩනයට ලක්වෙමින් සිටින බවක් පෙනෙන්නට තිබීම ගැන අපි කණගාටු වෙමු. මේ වකවානුවේ බෞද්ධ අධ්‍යාපනය රැක ගැනීමට උද්ඝෝෂණ පවා අපට දැකගත හැක. මේ රටේ ඉතිහාසය පුරාම මෙවන් අභියෝභ ජයගත් ආකාරයට මේ රටේ බෞද්ධයන් හා මහා සංඝරත්නය මේ අභියෝගද ජයගනු ඇත.

විද්‍යාවේ දියුණුවත් සමග බොහෝ ඉගැන්වීම් අභියෝගයට ලක්වන නමුදු බුදු දහමේ ඇති විශේෂත්වය වන්නේ විද්‍යාවේ දියුණුවත් සමග එය තව තවත් තහවුරු වීමය. සසර දුකෙන් එතෙර වන්නේ කෙසේද යන්න පමණක් නොව එතෙක් යහපත් මිනිසෙකු ලෙස ජීවත් වන්නේ කෙසේද යන්න පිළිබඳව ද බුද්ධ ධර්මය අපට මග පෙන්වා දී ඇත.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here