කෝච්චි බලන්න වෘත්තීය සමිති නායකයින් සමඟ 100ක් චීනයට…

0
46

චීනයේ නිෂ්පාදනය කරමින් පවතින එස්-14 බලවේග කට්ටල දුම්රිය පරීක්ෂා කිරීම පිණිස දුම්රිය දෙපාර්තමේන්තුවේ 100 දෙනකුගේ කණ්ඩායමක් චීනය බලා යෑමට කටයුතු යොදා ඇත. 20 දෙනකුගෙන් යුත් කණ්ඩායම් 5ක් ලෙස ඔවුන් මෙසේ චීනය බලා යෑමට කටයුතු යොදා තිබේ. මේ වන විට එහි පළමු කණ්ඩායම චීනය බලා පිටත්ව ගොස් ඇති අතර ඔවුන් පැමිණි විගස දෙවන කණ්ඩායම පිටත් වීමට නියමිත බව වාර්තා වේ. චීනය බලා යන එක් අයකු වෙනුවෙන් ගුවන් ටිකට් පත්, සුපිරි හෝටල්වල නවාතැන්වලට අමතරව එක් අයකුට ඇමරිකානු ඩොලර් 640ක මුදලක් සහ ශීත දීමනාව ලෙස රුපියල් 15,000ක්ද චීන සමාගමෙන් රුපියල් 30,000ක මුදලක්ද ලබා දෙනු ඇත.

ඒ අනුව එක් අයකු වෙනුවෙන් නවාතැන් ගුවන් ටිකට්පත් ඇතුළු සියලු වියදම් රුපියල් ලක්ෂ 5කට ආසන්න වන අතර, මේ කණ්ඩායම වෙනුවෙන් ලක්ෂ 500ක් පමණ මුදලක් මේ සඳහා වැය වනු ඇත.

චීන එස්-14 බලවේග කට්ටල නිපදවන ෂිපාන් සමාගම මේ සඳහා ගුවන් ටිකට්පත් හා නවාතැන් මෙන්ම ඔවුන් ලබා දෙන මුදල්වලට අමතරව සහභාගි වන සෑම අයකුටම වටිනා භාණ්ඩයක්ද තිළිණ වශයෙන් ලබා දෙයි. චීනය බලා යන මේ පිරිස අතර වෘත්තීය සමිති නායකයන්ද සිටින බව වාර්තා වේ.

මෙරටදී ලබා දෙන ඇමරිකන් ඩොලර් 640ක මුදල සහ ශීත දීමනාව වෙන් වශයෙන් ගෙවනු ලබන අතර, මේ සියලු දෙනාගේ කාර්යය වන්නේ දුම්රිය නිසි පරිදි සකස් කර ඇත්ද හා මෙරට ධාවනයට සුදුසුද යන්න සොයා බැලීම වන නමුත්, ඔවුන් වැඩි හරියක්ම චීනයේ සංචාර හා පැරැණි තැන් බැලීමටත්, රාත්‍රී දුම්රියයන්ගේ චාරිකා සඳහා සහභාගි වීමත් සිදු කර ඇති බවට දැනගන්නට ඇත. චීන සමාගම විසින් මේ වෙනුවෙන් අමතර මුදලක් අය නොකරනු ලබන නමුත් දිගින් අඩි 50ක් වන මැදිරි 10ක් හෝ 9ක් සහිත එක් බලවේග කට්ටල දුම්රියක් සඳහා ඇමරිකානු ඩොලර් 104 297 78.66 ක මුදලක් එනම් ආසන්න වශයෙන් රුපියල් කෝටි 185ක් (185 6 500601.48) පමණ එක් දුම්රියන් වෙනුවෙන් අය කෙර්. මීට පෙර චීනයෙන් ආනයනය කළ එස් -12 බලවේග කට්ටල දුම්රිය පරීක්ෂා කිරීම පිණිසද 100 දෙනකුගෙන් යුක්ත කණ්ඩායම් චීනය බලා ගිය අතර, දුම්රියේ රියැදුරු කුටිය මෙහෙයුම් කටයුතු කිරීමට අපහසු ලෙස නිර්මාණය කර තිබීමත්, එහි තිරිංග සම්බන්ධ දෝෂයක් ගැනත් වාර්තා විය.

මේ සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත විතානගේ මහතාගෙන් විමසීමේදී ඔහු පැවසුවේ චීන සංචාරයට අමතර වියදමක් දැරීමට සිදු නොවන බවත්, දුම්රිය ලබා දෙන මිල යටතේම ඒ සංචාරයන්ද ඇතුළත් බවත්ය. මෙවර නිපදවන දුම්රියේ රියැදුරු කුටියේ ඉඩ පහසුකම් ඇති පරිදි නිර්මාණය කර ඇති බවත් එස්-12 දුම්රියේ මතු වූ අත් තිරිංග සම්බන්ධ ප්‍රශ්නයද මේ දුම්රියයන්ගේ සකස් කර ඇති බවත් ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here