ගුරු-විදුහල්පති වෘත්තිය ක්‍රියාමාර්ගයට පෙර අධ්‍යාපන අමාත්‍යාංශය වැට පනී…

0
64

ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ඉලක්ක කර ගනිමින් පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සදහා ඇතැම් වෘත්තිය සමිති කටයුතු කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

වැටුප් විෂමතා ගැටළුවලට විසඳුම් ලබාදීමට සියළු කටයුතු සූදානම් කර ඇති මොහොතක එය තම වෘත්තිය සංගම්වල ජයක් ලෙස පෙන්වාදෙමින් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් නොමඟ යැවීමේ උත්සාහයක ඇතැම් පාර්ශව කටයුතු කරන බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

ගුරු හා විදුහල්පතිවරුන් ලෙඩ නිවාඩු වාර්තා කරමින් හෙට(13) දිනයේ පැවැත්වීමට සැලසුම් කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය පිළිබඳ අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යාංශය මේ බව ප්‍රකාශ කර තිබේ.

ගුරු සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සකස් කරන ලද  යෝජනාවලිය මේ වන විටත් රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචනය සම්බන්ධයෙන් වන විශේෂ කොමිශන් සභාව වෙත යොමු කර අවසන් බව එම නිවේදනයේ දැක්වෙයි.

ඒ අනුව ඉදිරියේදී ඊට අදාළ නිර්දේශ ලැබීමෙන් අනතුරුව අදාළ වැටුප් විෂමතා ඉවත් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ අතර මෙම වැටුප් විෂමතා ක්‍රියාවලියට විසඳුම් ලබාදීම මෙන්ම  මෙමෙරට අධ්‍යාපන පද්ධතියට ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ගෙන් වඩාත් ගුණාත්මක සේවා දායකත්වයක් ලබා ගැනීම සදහා වැඩපිළිවෙල රැසක් ක්‍රියාවට නංවා ඇති බව ද අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

අධ්‍යාපන අමාත්‍යවරයාගේ විශේෂ මඟ පෙන්වීම හා උපදෙස් මත මෙරට පවතින ගුරු හිඟය සහ ගුරු අතිරික්තය හඳුනා ගනිමින් ගුරු තුලනයක් ඇති කිරීමට ද පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here