ශ්‍රීලනිප යේ ඩබල්ගේම්කාරයින් කිහිපදෙනෙක් රනිල් දිනවන්න කටයුතු කරාවි…

0
179

මාතර දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සංධානයේ මන්ත්‍රී කංචන විජේසේකර සමග මවුබිම කළ සංවාදය එහි ඇති වැදගත්කම සලකා අපි මෙසේ උපුටමු…

ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් ගැන කතා කරනවා. නමුත් විපක්ෂය ඊට විරුද්ධ මත ඉදිරිපත් කරනවා. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජාතික ආණ්ඩුවක් හදන්න පුළුවන් ආකාරය විග්‍රහ කරනවා. ඒ අනුවයි ජාතික ආණ්ඩුව හදනවා කියන්නේ. එහෙම නම් ඇයි විපක්ෂය ඊට විරුද්ධ…?

ව්‍යවස්ථාවට අනුව විවිධ අර්ථකථන දෙන්න පුළුවන්. ඒක ඕනෑම පක්ෂයකට දෙන්න පුළුවන්. නමුත් එහි අවසන් තීන්දුව කථානායක හෝ ශේ්‍රෂ්ඨාධිකරණය විසිනුයි ලබාදිය යුත්තේ. මේ ආණ්ඩුව හරහා තමයි ලංකාවේ පළමු වරට ජාතික ආණ්ඩු සංකල්පය නිර්මාණය කළේ. එම සංකල්පය ඇතිවුණු වෙලේ මේ ප්‍රශ්නයම ඇති වුණා.

එතැනදි අගමැතිතුමා පැහැදිලිවම පාර්ලිමේන්තුවේදී කිව්වේ ජාතික ආණ්ඩුවක් ඇතිවීමට පක්ෂ තුනක එකඟතාව අවශ්‍යයි කිව්වා. එදා එතුමා පෙන්වලා දුන්නේ එජාපය, ශ්‍රී ලනිපය, මුස්ලිම් කොංග්‍රසය ඊට දායක වුණා. මෙහිදී ජනතා විමුක්ති පෙරමුණ කියා සිටියේ ජාතික ආණ්ඩුවක් වීමට නම් පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකතු විය යුතුයි කිව්වා. නමුත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේදි කාරක සභා අවස්ථාවේ ගෙනා සංශෝධනයක් මඟින් එක පක්ෂයක් හෝ පක්ෂ දෙකක් එකතු වෙලා ජාතික ආණ්ඩුවක් කරා යන්න පුළුවන් කියන අර්ථකථනය දුන්නා.

එහෙනම් ගැටලුවක් නෑනේ. ව්‍යවස්ථාව අනුවනේ වැඩේ වෙන්නේ…?

නැහැ. මෙතැන තියෙන්නේ වෙන දෙයක්. ජාතික ආණ්ඩුවක් කියලා මේ අය හදන්නේ එජාපෙ සහ තනි මන්ත්‍රිවරයෙක් ඉන්න මුස්ලිම් කොංග්‍රසය එක්කයි. තනි මන්ත්‍රිවරයෙක් ඉන්න මුස්ලිම් කොංග්‍රසය එක්ක ජාතික ආණ්ඩුවකට යනවා නම් කැබිනට් මණ්ඩලයට වැඩිවිය යුත්තේ එක් ඇමැති ධුරයක් පමණයි. නමුත් ඔවුන් යෝජනා කරන්නේ තවත් ඇමැති ධුර 18ක්. එතැන ගැටලුවක් තියෙනවා. ඒ ගැන ව්‍යවස්ථාවට අනුව කොහොමද කෙරෙන්නේ කියා කථානායකවරයා සහ ශේ්‍රෂ්ඨාධිකරණයට අර්ථකථනය ලබාදෙයි. නමුත් එජාපෙ හදන්න හදන ජාතික ආණ්ඩුව ගැන සදාචාරාත්මක ගැටලුවක් තියෙනවා.

ඔබතුමන්ලා 113 හදාගන්න කළේ මන්ත්‍රිවරු බිලිබා ගත්ත එක. ඒ අනුව 2/3 බහුතර බලයන් හදා ගත්තා. අද ව්‍යවස්ථාව අනුව කරන මේ දේ ගැන විරුද්ධ වීම අවංකවමද කරන්නේ…?

අවංකවමයි අපි මේ විරෝධය දක්වන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රටේ ජනාධිපති වෙලා ඉන්න කොට මන්ත්‍රිවරු බිලිබෑවේ නැහැ. යුද්ධය අවසන් කරන්න පක්ෂ පාට භේදයකින් තොරව හැමෝම එතුමාට සහාය දුන්නා. ඒ අනුවයි එදා 2/3 හැදුවේ. අද එජාපෙ කරන්නේ ව්‍යවස්ථාවට මුවාවෙලා වංචාවෙන් 113 හදා ගන්නා ක්‍රමයක් හොයන එකයි. මේ ඇමැති ධුර ලබා නොදුන්නොත් එජාපයේ මන්ත්‍රිවරු රඳවා ගන්න ඔවුන්ට බැරි වෙනවා. ඒ නිසා එජාපයේ අයට ඇමැතිකම් දෙන්නයි මේ ජාතික ආණ්ඩුව හදන්නේ.

එජාපයේ අයට නෙමෙයි පොහොට්ටුවේ සහ ශ්‍රී ලනිපයෙන් එජාපෙට එකතු වෙන්න ඉන්න මන්ත්‍රිවරුන්ට ඇමැතිකම් දෙන්න මේ දේවල් කරනවා කියා මත පළ වෙනවා. විපක්ෂය ඊට විරුද්ධ ඒක නේද..?

ශ්‍රී ලනිපයෙන් කවුරු හරි යන්න ඉන්නවා නම් ඒකට අපි බයවෙන්න දෙයක් නැහැ. මොකද ශ්‍රී ලනිපයේ ඇතැම් අය දෙපැත්තේ කකුල තියාගෙන ඉන්නේ.

පොහොට්ටුවේ අයත් ඉන්නවා නේද…? ඇයි ඒ ගැන නොකියන්නේ…?

පොහොට්ටුවේ නැහැ. පොහොට්ටුවේ ඉන්න 54 දෙනා පිළිබඳව කිසිම සැකයක් නැහැ. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මෙන්ම ඉන්පසු කාලයෙදිත් පොහොට්ටුවේ 54 දෙනා එකට හිටියේ. දින 51 ආණ්ඩු හදපු කාලය තුළත් පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පළාත් පාලන ඡන්දයට සහාය දුන් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම සියලු දෙනා තනතුරු ප්‍රතික්ෂේප කරලයි ආණ්ඩුව ගෙනියන්න කටයුතු කළේ. ඒ නිසා තනතුරු වරප්‍රසාද ගැන පොහොට්ටුවේ පිරිසට ප්‍රශ්නයක් නැහැ.

එහෙනම් කාටද ප්‍රශ්නය තියෙන්නේ…?

ශ්‍රී ලනිපයේ පිරිසක් ඉන්නවා එජාපයේ නායකයාට හිතවත් අය. ඔවුන්ට ඇමැති ධුර ලබා ගැනීම සඳහා ජාතික ආණ්ඩු හදන්න ඕන නැහැ. ඒ සඳහා බාධක නැහැ. ජනාධිපතිතුමාගේ අවසර ඇතිව ඒ කටයුත්ත කරන්න පුළුවන්.

ශ්‍රී ලනිපයෙන් එජාපයට ගිය අයට ඇමැතිකම් දුන්නේ නෑනේ…?

ඒක ගැන ඉල්ලීමක් කරනවා නම් ජනාධිපතිතුමා ඒ ගැන සලකා බලයි.

අගමැතිවරයා ඇමැතිකම් ඉල්ලුවනේ. ඒත් නම් කැපුණා..?

ඔවුන් ඉල්ලීමක් කරනවා නම් ශ්‍රී ලනිපයෙන් එකතුවෙලා එජාපයත් එක්ක දේශපාලන කටයුතු කරන්න ඕන කියලා. ජනාධිපතිතුමා ඒ ගැන සලකා බලයි. එහෙම වුණොත් ජනාධිපතිතුමා ඔවුන්ට ශ්‍රී ලනිපයෙන් ඉවත් වෙලා එජාපයෙන් දේශපාලන කටයුතු කරන්න අස්ථාව දෙයි.

ඔබ කියනවා ශ්‍රී ලනිපයේ කැමැති අයට ආණ්ඩුවට යන්න ජනාධිපතිතුමා අවශ්‍ය ලෙස කියලා. නමුත් ගිය සතියේ ශ්‍රී ලනිපය එහෙම යන අයට විනය ක්‍රියාමාර්ග ගන්න තීරණය කළ බව දන්නෙ නැද්ද?

දන්නවා. මැතිවරණයකදී ශ්‍රී ලනිපයේ කොටසකගේ සහාය තියෙන්නේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා දිනවන්න. ඒ කීපදෙනා ගහන්නේ ඩබල් ගේම් එකක්. ඩබල් ගේම් ගහන්නෙ නැතිව කියලා ගියා නම් ඉවරයි.

ඩබල් ගේම් ගහලා අවසාන මොහොතේ යූ.එන්.පී.යට සහාය දීලා ඒ පැත්තට යන්න ඉන්න අයයි. මේ අයට කවදාවත් ශ්‍රී ලනිපය ප්‍රමුඛ ආණ්ඩුවක් හදන්න ඕන නෑ. ඒ අයට ඕන රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවක්. මනුෂ නානායක්කාර කෙළින්ම ගියා වගේ මේ අයටත් යන්නයි තියෙන්නේ.

රට මෙහෙම අස්ථාවර වුණෙත් ව්‍යවස්ථා විරෝධී අගමැතිවරයෙක් පත්කර රට දින 51ක් ආපස්සට හැරවීම නිසායි. එහෙමයි චෝදනා එල්ල වෙන්නේ…?

ව්‍යවස්ථා විරෝධියි කියන්නේ එජාපය. ඒ පත්කිරීම ව්‍යවස්ථා විරෝධී කියා අධිකරණයෙන් තීන්දුවක් දීලා නැහැ. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීන්දුව විතරක් වැරැදියි කියා විතරයි ශේ්‍රෂ්ඨාධිකරණය අර්ථ දැක්වූවේ. අගමැතිවරයා පත් කිරීම හෝ ඉවත් කිරීම ගැන ශේ්‍රෂ්ඨාධිකරණය මතයක් පළ කරලා නැහැ.

මහින්ද මහත්තයා අගමැති විදියට පත් කිරීම වැරැදියි කියා උසාවි ගියාට පස්සේ තමයි එතුමා ඉල්ලා අස්වුණේ…?

පළමුවැනි නඩුව ගියා මහ මැතිවරණයකට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වැරැදියි කියා. ඊට තීන්දුවක් ලැබුණා. දෙවැනි නඩුව ගියේ බහුතර බලය නොමැතිව ආණ්ඩුවක් කරනවා කියා විතරයි. එහෙම නැතිව ජනාධිපතිවරයා අගමැතිවරයා පත් කිරීම ගැනවත් හිටපු අගමැතිවරයා ඉවත් කරපු ආකාරයවත් නඩුව ගියේ නැහැ. අපට 113 තිබ්බේ නැහැ. ඒ නිසායි එහෙම තීන්දුවක් ගන්න ඇත්තේ. ඒ වගේම මේ ආණ්ඩුවටත් 113 තියෙනවාද කියා ගැටලුව තියෙනවා. අපට දැම්ම නඩුවේ තීන්දුව එනකම් බලාගෙන ඉඳලා අපිත් අධිකරණයට යනවා. මේ ආණ්ඩුවට 113 නැහැ කියලා.

ශ්‍රී ලනිපය හා පොදුජන පෙරමුණ එක පක්ෂයක් විදියට පෙනී හිටිනවා කිව්වට පක්ෂ දෙකක් විදියටයි තාම ක්‍රියාත්මක කරන්නේ. ඔය දෙගොල්ලෝ අතර සීතල යුද්ධයක් තියෙනවා නේද…?

මෙතන තිබුණේ ප්‍රතිපත්තිමය ගැටලුවක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඡන්දය ඉල්ලලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ 95 දෙනාගෙන් කණ්ඩායමක් තීන්දු ගන්නවා එජාපයේ ආණ්ඩුවට උදවු කරනවා කියා. අපි බහුතරයක් තීන්දු කරනවා විපක්ෂය විදියට කටයුතු කරනවා කියලා.

අත්හදා බැලීමක් විදියට මේ අය එකතුවෙලා ජාතික ආණ්ඩුවක් හැදුවා. ඉන් පස්සේ අවුරුදු තුනකට පස්සේ ප්‍රාදේශීය සභා ඡන්දය තිබ්බා ප්‍රතිඵලත් එක්ක ශ්‍රී ලනිපයේ අයට වැරැද්ද තේරුණා. ඒ නිසායි 16ක් පක්ෂයෙන් එළියට ආවේ. ඒ නිසා මෙතැන තියෙන්නේ සීතල යුද්ධයක් නෙවෙයි. ශ්‍රී ලනිපයේ ඉන්න අයගෙන් එජාප ආණ්ඩුවට විරුද්ධ සටන ගෙනියන්න අවංකව කැපවෙන කොටසක් ඉන්නවා නම් ඒක අපට කිසි ගැටලුවක් නැහැ.

ඒ වුණාට අප දකින්නෙම ඔය දෙගොල්ලෝ අතර සිදුවෙන පරස්පර ප්‍රකාශ විතරයි?

අපි පුළුල් සන්ධානයක් හදන්න සාකච්ඡා පවත්වනවා. ඒ සාකච්ඡාවල ප්‍රගතිය අනුව එය හදන්න ජවිපෙට, මුස්ලිම් කොංග්‍රසයට ආරාධනා කරනවා. රනිල් වික්‍රමසිංහට විරුද්ධ එජාප ප්‍රතිපත්තිවලට විරුද්ධ කණ්ඩායමකට ඒ සන්ධානයට එකතු වෙන්න පුළුවන්. එහෙම නොකරපු අය ගැන අපට විවේචන තියෙනවා.

ආණ්ඩුවට විරුද්ධ කණ්ඩායමක් හදනවාට වඩා ඒකාබද්ධය උත්සාහ කරන්නේ රනිල්ට විරුද්ධ කණ්ඩායමක් ගොඩනඟන්න. එහෙම වෙන්නේ රනිල්ට තියෙන බය නිසා නේද…?

රනිල්ට ඇති බයක් නැහැ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා පසුගිය මැතිවරණ ගණනාවේදීම ඉදිරිපත් නොවෙන්න හේතු තිබ්බා. ජනාධිපතිවරණයට අවස්ථා දෙකක් ඉදිරිපත් වෙලා පරාජය වුණා. අවස්ථා දෙකකදි වෙනත් අපේක්ෂකයෝ ඉදිරිපත් කළා. ඒ නිසා එතුමා ගැන අපට කිසිම බියක් නැහැ. අපිට අවශ්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාප බලවේගයට විරුද්ධව ගොඩනැඟෙන ඕනෑම බලවේගයක් හරහා එකතු වෙන්නයි.

ඔබ කොහොම කීවත් රනිල් වික්‍රමසිංහ කියන්නේ විධායක ජනාධිපති හා අගමැති යන දෙදෙනාම රටේ නීතිය ඉදිරිපිට දණ ගස්සපු කෙනෙක්…?

මම හිතන්නේ නැහැ දණ ගැස්සුවා කියලා. ඊට පස්සේ බලය ගත්තා කියලා. එක පැත්තකින් අපි දකින්නේ පසුගිය දින 51 ඇතුළේ අපිට නොතිබුණු බලයක් අපි ගත්තා. පසුගිය අවුරුදු 3 1/2 ඇතුළේ අපි පාර්ලිමේන්තුවේ හිටියේ ආණ්ඩු පක්ෂයේ හෝ විපක්ෂයට නැති මන්ත්‍රිවරු හැටියට. අපට ඒ දෙකේම බලය තිබ්බේ නැහැ. එහෙම තියෙද්දි තමයි පළාත් පාලන ඡන්දය දිනුවේ. ඉන්පසු අපි ලබපු ජය තමයි ආණ්ඩු පෙරළිය. ඒකෙන් ආණ්ඩුවේ 2/3 නැතිවුණා. අපට විපක්ෂ නායකකම ලැබුණා. ටී.එන්.ඒ ඒ බලය, ජවිපෙ බලය දෙකම අපි බින්දා. ඒක තමයි අපි ලබපු ජය. ඒ ජය ගන්න අපි කොහෙවත් දණ ගැහුවේ නැහැ.

රටේ ජනතාව කියන්නේ දණ ගැහුවා කියලයි ?

අපි එහෙම දණ ගැහුවා නම් ඒ මතය ජනයා අතර තියෙනවා නම් එජාපය කළ යුත්තේ පළාත් සභා ඡන්දයකට යන එකයි. පළාත් සභා ඡන්දය දිගටම කල් දාන්නේ පරදින නිසයි. බහුතර බලය නැත්තම් එජාපයට පුළුවන්නේ පාර්ලිමේන්තු ඡන්දයකට යන්න. එහෙම යෝජනාවක් ගෙනාවොත් ඒකාබද්ධයේ අපිත් සහාය දෙනවා. එජාපය මහින්ද රාජපක්ෂ මහතාගේ භාරකාර ආණ්ඩුව යටතේ ඡන්දයට යන්න බය නම් එජාපයට පුළුවන් දැන් භාරකාර ආණ්ඩුවක් පිහිටුවා ගෙන ඡන්දයකට යන්න. එහෙම යන්නේ නැත්තේ ඡන්දය ඉල්ලුවොත් එජාපය පරදිනවා කියා දන්න නිසායි.

වසර 1 1/2ක් යනතුරු පළාත් සභා ඡන්දය තිබ්බේ නැහැ කිව්වට එජාපය තනි ආණ්ඩුව ඇවිත් මාස 2ක් විතර ඇති. ඊට පෙර ෆයිසර් මුස්තාපා තමයි විෂය භාර ඇමැතිව හිටියේ. එතකොට ජනාධිපතිවරයාටත් ඡන්දය නොතිබීමේ වගකීමෙන් ගැලවෙන්න බැහැ නේද…?

බැහැ, අනිවාර්යෙන්ම ජනාධිපතිතුමාට එම චෝදනාවෙන් ගැලවෙන්න බැහැ. ජනාධිපතිතුමාත් එතුමාගේ පාර්ශ්වයටත් මිදෙන්න බැහැ. ගැලවෙන්න බැහැ පසුගිය කාලයේ වසර 3 1/2ක තිබුණු ප්‍රශ්නවලින්.

හැබැයි හැමෝම එජාපයට වරද පටවලා අත හෝදා ගන්නවා…?

ජනාධිපතිතුමයි ඒ ඇමැතිකම් දරපු අයයි දැන් අත හෝදාගත්තට ජනතාව ඒක ලෙහෙසියෙන් අමතක කරන්නේ නැහැ. මේ රටේ ජනතාව බුද්ධිමත්. ජනතාව වෙනදාට වඩා අවධානයෙන් ඉන්නේ. ඒ නිසා කාටවත් ප්‍රශ්න මඟඇරලා අත හෝදා ගන්න පුළුවන්කමක් නැහැ. පළාත් සභා ඡන්දය කල් දැමීමේ කාර්යයට ජනාධිපතිතුමා, ෆයිසර් මුස්තාපා මැතිතුමා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා, ටී.එන්.ඒ. එක, ජවිපෙ මේ හැමෝම වගකියන්න ඕන. ජවිපෙයි ටී.එන්.ඒ. එකයි එකතු වෙලා තමයි අලුත් පළාත් සභා යෝජනා ගෙන ආවේ. ඒකට විරුද්ධව ඡන්දය දුන්නේ ඒකාබද්ධ විපක්ෂයේ අපි විතරයි.

හැබැයි දැන් විපක්ෂයට ගිය ශ්‍රී ලනිපය අයත් කියන්නේ වෙන දෙයක්…?

ඒක වැරැදියි. ආණ්ඩුවේ ඉඳලා අපට එකතු වෙන්න ඉස්සර ඒ අය මේ හැමදේටම අවනත වුණා. ඒ අය දැන් අපට එකතුවෙලා මේක වැරැදියි කිව්වට ඒ පිරිසටත් දැන් අත හෝදාගෙන පැත්තකට වෙන්න බැහැ. අවුරුදු 3 1/2ක් එජාපයේ අය ෆයිසර් මුස්තාපාට චෝදනා කළා. ෆයිසර් මුස්තාපා ඇතුළු ශ්‍රී ලනිප අය එජාපයට ඇඟිල්ල දිගු කරනවා. දැන් මේ මුළු බෝලෙම තියෙන්නේ එජාපය අතේ. ඒ නිසා දැන් ඔවුන්ට පුළුවන් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනත් පාර්ලිමේන්තුවේ 2/3 යෝජනාවෙන් සම්මත කරගන්න. එජාපයට 105යි. අපේ 54 දෙනයි. එකතුවෙලා ඡන්දය දුන්නත් 3/2 බලය හැදෙනවා. දේශපාලන පක්ෂ සියල්ලම ජවිපෙ හැර, කියන්නේ පැරැණි ක්‍රමයට ඡන්දයට යමු කියලායි. ජවිපෙ 6 අයින් කළාම ඉතිරි ටික මේ යෝජනාවට ඡන්දය දෙනවා.

ඒකාබද්ධයටත් පුළුවන්නේ ආණ්ඩුව එක්ක කතා කරලා වැඩේ කරන්න. ඇයි පස්ස ගහන්නේ..?

අපි දින 51 ආණ්ඩුව කාලයේ තමයි කැබිනට් එකට යෝජනාවක් හරහා අනුමැතිය ගත්තේ පැරැණි ක්‍රමයට ඡන්දය තියන්න. ඒක අපි ගෙනාව පළමුවැනි කැබිනට් පත්‍රිකාව.

දින 51 ආණ්ඩුව නීති විරෝධීයි. ඒ කාලයේ සම්මත කරපුවා වලංගු නැහැ කියායි ආණ්ඩුව කියන්නේ…?

එහෙම වලංගු නැහැ කියා කිසිම තැනක තීරණය කරලා නැහැ. ඕක එජාපය ගෙනියන මතයක් විතරයි. හරි එහෙම වලංගු නැත්තම් එජාපයට පුළුවන් දැන් යෝජනාව ගේන්න. ඒක අමාරු කටයුත්තක් නෙවෙයි. යෝජනාව ගෙනත් සම්මත කරගෙන මාසයක් ඇතුළත ඡන්දය කැඳවන්න මැතිවරණ කොමසාරිස්වරයාට කියනවා. දෙපාර්ශ්වයම මැතිවරණයකට යන්න අකැමැතිව තිබුණා. ඒ නිසා දැන් ෆයිසර් මුස්තාපාට බෝලය පාස් කරලා වැඩක් නැහැ. දැන් තියෙන්නේ එජාපයේ වැඩක්. ඒ වගේම ඔවුන් ඡන්දයට යන්න අකැමැතියි.

ආණ්ඩුව ඉල්ලන්නේ ජනාධිපතිවරණයක්. හැබැයි ජනාධිපතිවරණයකට යන්න පොදුජන පෙරමුණ බයයි?

අපි කිසිම ඡන්දයකට බය නැහැ. තවම ජනාධිපතිවරණයක් ඉල්ලන්න බැහැ. මේ රටේ නීතියක් තියෙනවා. රටේ නීතිය අනුව ජනාධිපතිවරණයක් නියමිත දිනට කලින් පවත්වනවා නම් ඉන්න ජනාධිපතිවරයා නැවත තරග කළ යුතුයි. ඉන්න ජනාධිපතිවරයා නැවත තරග කරනවාද නැද්ද කියා එතුමාවත් තවම ප්‍රකාශ කරලා නැහැ.

ඉන්න ජනාධිපතිවරයා නැවත තරග කරන්නේ නැත්නම් ජනාධිපතිවරණයට දින නියම වෙලා තියෙන්නේ. ජනවාරි 8ට මාසයකට පෙර හෝ දෙකකට නොඅඩු කාලයකදී තමයි ජනාධිපතිවරණය පැවැත්විය යුත්තේ. ඒ අනුව මේ වසරේ දෙසැම්බර් 9ට පෙර මේ රටේ ඊළඟ ජනාධිපතිවරණය පවත්වන්න තියෙනවා. ඒක කාලයත් සමඟ විසඳෙයි. මෛත්‍රිපාල සිරිසේන මහත්තයා හිතනවා නම් නැවත තරග කරන්න පුළුවන් කියලා. ඊට පෙර ජනාධිපතිවරණයක් පවත්වන්න පුළුවන්. නමුත් පළාත් සභා මැතිවරණය පවත්වන්න එහෙම බාධාවක් නැහැ.

පළාත් සභා ඡන්දය තියන්න කියා පොදුජන පෙරමුණ කෑ ගැහුවට දිනන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවාද?

ඔව්. මොකද එජාපයට ලංකාව ඇතුළේ දිනන්න පුළුවන් එක දිස්ත්‍රික්කයක්වත් නැහැ. කොළඹ, මහනුවර, මාතලේ, බදුල්ල, නුවරඑළිය පරාදයි. මේ සියලු දිස්ත්‍රික්ක දිනන්නේ පොදුජන පෙරමුණ. උතුර නැඟෙනහිර පමණයි ටී.එන්.ඒ. සහ ඊ.පී.ඩී.පී. සහ ටෙලෝ එකට යම් කිසි බෙදීමක් යන්නේ. පළාත් පාලන ප්‍රතිඵල ආදේශ කළොත් පළාත් සභා නවයෙන් හතක ජය පොදුජන පෙරමුණට එනවා. දෙකක ජය ටී.එන්.ඒ.ද මුස්ලිම් කොංග්‍රසයද එජාපයද නැත්නම් එකතු වෙලාද කියා ප්‍රශ්නයක් තියෙනවා. මේ නිසා අගමැතිවරයා දන්නවා පළාත් සභා ඡන්දයට ගියොත් පරාජයට පත් වෙනවා කියා. එතුමා පරාජය වුණොත් නායකත්වයේ අර්බුදයක් එනවා. එතකොට පක්ෂය එකට තබා ගැනීමේ අපහසුතාව තියෙනවා. පළාත් සභා කල් දා ගන්නේ ඊළඟ ජනාධිපතිවරණය දක්වායි.

පොදුජන පෙරමුණ මහ ලොකුවම කෑගැහුවට ඔක්තෝබර් 26 බලෙන් ආණ්ඩු ගන්න ගිහින් ජනතාව අතර හෑල්ලුවට ලක්වෙලා ඉවරයි. ඉවසුවා නම් මීට වඩා බලයක් ගන්න තිබුණාද?

ඔක්තෝබර් 26 වැනිදා අපි ආණ්ඩු බලය නොගත යුතුව තිබුණා කියා දැඩි මතයක මමත් හිටියා. එදා දවස වන විට පැවැති ආණ්ඩුවට 153ක බලයක් තිබුණා. ඒ වගේම නොවැම්බර් 7 වැනිදා නව ව්‍යවස්ථා යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න තිබුණා. ඒ නිසා මේ කාරණා එක්ක බැලුවම අපි ජයග්‍රහණය කළා. ව්‍යවස්ථා යෝජනාව පරාජය කරලා ආණ්ඩුවේ බහුතර බලය නැති කිරීම ගැන. මේ කාරණාවේදී අපට පෞද්ගලික අවාසියක් ඇති වුණ එක ඇත්ත. ඒ පෞද්ගලික දේශපාලන අවාසිය එක්ක පාර්ලිමේනතුවේ 2/3 බලය බෙදීම අපි ලබපු ජයක්.

ඒ නිසා ව්‍යවස්ථාවේ ක්‍රියාවලිය මාස 2-3ක් ප්‍රමාදයට ලක්වුණා. අද සියලුම පක්ෂ පිළිගන්නවා මේ ව්‍යවස්ථා ක්‍රියාවලිය මේ පාර්ලිමේන්තුව තුළ විස¼දාගන්න පුළුවන් එකක් නෙවෙයි කියලා. ඒ අනුව අපි දිනලා තියෙනවා. ඔක්තෝබර් 26 අපි පෞද්ගලික දේශපාලන අවාසියක් අරගෙන රටට හොඳක් කළා.

පෙරළුණු පිට හොඳයි කියනවා කියන්නේ ඕකට තමයි?

පෙරළුණු පිට හොඳයි කියනවා නෙවෙයි, මේ ආණ්ඩුව කරගෙන යෑමට ගිය රට බෙදීම, මාධ්‍ය මර්දනය, කෘෂි කර්මාන්තය කඩා වැට්ටීම, රට විකිණීම ආදී කාර්යයන් නැවතුණා. ඒත් මේ අය මොන ගැට දාලා හරි එයාලගේ වැඩේ කරන්න උත්සාහ කරනවා. ඉන් මේ ආණ්ඩුව තව තවත් පිරිහීමට ලක්වෙලා ඉවරයි.

පළාත් සභාවේ සිදුවෙන්නේ මන්ත්‍රිවරු නඩත්තුව පමණයි. සංවර්ධනය වෙන්නේ සියයට 15ක් විතරයි කියා ජනාධිපතිවරයා කිව්වා. දේශපාලන බලය ගන්න මේ තරම් පොරකන්නේ ඉන් ලැබෙන වාසි නිසා නේද?

දැනට තියෙන ක්‍රමවේද එක්ක අපි යා යුතුයි. පළාත් සභා හොඳ නැත්නම් අහෝසි කිරීමේ යෝජනාවක් එන්න ඕන. අපි කියන්නේ පළාත් සභා ක්‍රමයක් රටේ තියෙනවා නම් ඒ ක්‍රමයට අපි යා යුතුයි. පළාත් සභා අහෝසි වීමෙන් තනි පුද්ගලයකු අතට බලය ගිහින් තියෙනවා. දැන් ටී.එන්.ඒ. කියන්නෙත් බලය විමධ්‍යගත කරන්න කියායි.

නමුත් ටී.එන්.ඒ. එකම අත උස්සනවා, උතුරු පළාත් සභාව විසුරුවාට පස්සේ ආණ්ඩුකාරවරයා කියන තනි පුද්ගලයාට බලය ලබා දීලා කියලා. අපි උත්සාහ කරන්නේ පවතින දෙයක් ආරක්ෂා කරන්න විතරයි. සමහර වෙලාවට හිතෙනවා පාර්ලිමේන්තුව පළාත් සභාව ප්‍රාදේශීය සභා කියන තුනක් අවශ්‍යද කියලා. මමත් පළාත් සභාව නියෝජනය කළා. පළාත් සභාව තුළින් කෙරෙන කාර්යභාරයක් තියෙනවා. ඒ නිසා ඒක එක පාරට අෑත් කරන්න බැහැ.

කොහොම කීවත් උතුර – නැඟෙනහිර ප්‍රශ්නයට විසඳුමක් දිය යුතුයි. ඒත් විපක්ෂය පැත්තෙන් යෝජනාවක් ඉදිරිපත් නොකර ඉදිරිපත් කරන යෝජනාවලටත් අකුල් හෙළීම හරිද? අඩුම තරමේ සංශෝධන හෝ දෙන බවක් පේන්න නැහැ?

අපි අපේ යෝජනා දීලා ඉවරයි. ඒකාබද්ධ විපක්ෂය ලෙස අපි ඒක කළා. ව්‍යවස්ථා යෝජනාවලියට යෝජනාවක් ලබාදීලා නැති එකම පක්ෂය එජාපය විතරයි. ඒකාබද්ධ විපක්ෂය විදියට සාකච්ඡා කළයුතු දේවල් ගැන අපි දැනුවත් කරලා තියෙනවා.

දැනට පළාත් සභා ක්‍රමය හරහා ක්‍රියාත්මක වෙන්නෙත් එජාපය ගෙනා යෝජනා තමයි. ඒක හරි නැත්නම් ඔබලාගේ යෝජනා රටට කියන්න බැරි ඇයි?

එජාපය ගෙනාව යෝජනාවලට එහායින් ගිය යෝජනා ටී.එන්.ඒ. එක ඉල්ලනවා. දැන් අගමැතිතුමා ඒවා දෙන්න උත්සාහ කරනවා. ඉඩම් හා පොලිස් බලතල දෙන්න එතුමා ගේන උත්සාහයට විරෝධය පළ කළා. ඒ වගේම විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන සාකච්ඡා කරන්න පුළුවන් කියා අපි දැනුවත් කළා. අපි විශ්වාස කරනවා පළාත් සභා සතු විෂයයන් පරිපාලනය කිරීම සඳහා යම් කිසි බලයක් පළාත් සභාව තුළ තිබිය යුතුයි කියා.

එජාපය දෙන්න හදනවා කියන බලය වෙන විදියකට දෙන්නද උත්සාහය?

නැහැ. අපි ඒක කියන්නේ මධ්‍යම රජයට අනුගත වෙමින් යන ක්‍රමයක්. එහෙම නැතිව අමතර බලයක් ලබාදීලා ඒකෙන් පළාත් සභාවලට විසඳුමක් වෙන්නේ නැහැ. උතුරු නැඟෙනහිර ප්‍රශ්නයට උත්තරයක්වත් ලැබෙන්නේ නැහැ. උතුර – නැඟෙනහිර පළාත් සභාවලට වැඩි බලයක් ගත්තා කියලා උතුර නැඟෙනහිර ප්‍රශ්නයට විසඳුමක් නෙවෙයි.

උතුරේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න නම් උතුරු නැඟෙනහිර දේශපාලකයන් ඒ ප්‍රශ්න හඳුනාගෙන පාර්ලිමේන්තුවට ඒවා ගෙන ආ යුතුයි. ටී.එන්.ඒ. එකට ඒකට ඕන තරම් අවස්ථාව තියෙනවා. ඔවුන්ට පුළුවන් මේ ආණ්ඩුවට එකතු වෙලා ඇමැතිකම් අරගෙන උතුර – නැඟෙනහිර ජනතාවගේ ඇත්ත ප්‍රශ්නවලට උත්තර හොයන්න. නමුත් ඔවුන් කරන බල අරගලය නිසා ඒ ජනතාව තවත් පීඩාවට පත් වෙලා. ඒ නිසා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන යෝජනාවලියෙන් පළාත් සභා ශක්තිමත් වීමක් හෝ උතුර – නැඟෙනහිර අර්බුදයට විසඳුමක් ලැබෙන්නෙත් නැහැ.

මේ හැම ප්‍රශ්නයකටම විපක්ෂය ලෙස පිළිතුරු හොයන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය. නමුත් හැම වෙලේම කියන්නේ ඒකාබද්ධ විපක්ෂයේ අපි කියලා. ඇයි එහෙම කියන්නේ. ඔතනට එහෙම අයිති නැද්ද?

මේ රටේ ඕනෑම පුරවැසියෙක් දන්නවා ශ්‍රී ලනිපයේ ඡන්දයට ඇවිත් එජනිසයෙන් පාර්ලිමේන්තු ආවට අපි අතර පැහැදිලි බෙදීමක් තියෙනවා කියලා.

තවම බෙදීම තියෙනවාද?

ඔව්. තාම බෙදීම තියෙනවා. ආණ්ඩුවට එකතුවෙන්න ඕන කියන පාර්ශ්වයක් ඉන්නවා. එකතු නොවී විරෝධය පාන කොටසක් ඉන්නවා. ඒකාබද්ධ විපක්ෂය නිර්මාණය වෙන්නේ එහෙමයි. ඒකාබද්ධයේ අය ශ්‍රී ලනිප, එජනිසය එක්ක මැතිවරණ ව්‍යාපාරය කළේ නැහැ.

අපි කළේ පොදුජන පෙරමුණේ මැතිවරණ කටයුතු. අපි ඒ වේදිකාවේ හිටියේ. අපි ඡන්දය භාවිත කළේ පොදුජන පෙරමුණ වෙනුවෙන්. අපි අතර පැහැදිලි බෙදීමක් තියෙනවා. අදටත් ශ්‍රී ලනිපයේ ඉන්න පිරිසකට එජාප නායකයා වටා එකතු වෙලා යන්න ඕන. ඒකට ඒ අය උනන්දු වෙනවා. ලක්ෂ්මන් සෙනෙවිරත්න, පියසේන ගමගේ, ඉන්දික බණ්ඩාරනායක, විජිතමුණි සොයිසා මේ ආණ්ඩුබල පෙරළියේදී කොහොමද හැසිරුණේ කියලා රටම දැක්කා.

විපක්ෂයේ ඉන්න අනෙක් පිරිස් ගැනත් විවේචන එල්ල වෙනවා?

විපක්ෂයේ වාඩිවෙලා ඉන්න සමහර ශ්‍රී ලනිප අය අපේ පැත්තේ ඉඳන් මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සහ මහින්ද රාජක්ෂ මැතිතුමාගේ කකුලෙන් අදිනවා.

මේකට විසඳුම් නැද්ද?

ඊළඟ මැතිවරණයෙන් ලැබෙයි.

ඔබතුමා පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තද?

ඉල්ලුම් පත්‍රිකාවක් දැම්මා.

සාමාජිකත්වය ගත්තද?

අයැදුම්පතක් ඉදිරිපත් කළා පමණයි.

ඒකාබද්ධයේ අය පොහොට්ටුවේ සාමාජිකත්වය අරගෙන පාර්ලිමේන්තුවේ හිටියට බේරුණේ ශ්‍රී ලනිපය නිසයි. දුමින්ද දිසානායක මහතා පසුගිය දවසක කිව්වා. මේක ගැන මොකද කියන්නේ?

මැතිවරණ ක්‍රියාවලියක් වෙනුවෙන් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය වෙලාවේ පාර්ලිමේන්තුව ඒ අවස්ථාව වන විට නීත්‍යනුකූලව කටයුතු නොකරන අවස්ථාවක ඊළඟ මැතිවරණයට නාම යෝජනා ඉල්ලීමට පොදුජන පෙරමුණින් ඉල්ලුම් පත්‍රයක් ඉල්ලුම් කළා.

කවුද ඉල්ලුම් කළේ?

අපි සියලු දෙනාම. අපි තරග කරන්නේ පොදුජන පෙරමුණින් කියලා ඉල්ලුම් පත්‍රයක් ලබා දුන්නා.

පොදුජන පෙරමුණට ගියේ නැහැ කියා පස්සේ කිව්වේ ඇයි එහෙනම්?

අපි ඒ පක්ෂයට ගියේ නැහැ. ඉල්ලුම් පත්‍රයක් දැම්මා විතරයි. මැතිවරණයකට යන්න බැහැ කියලා අධිකරණයට කිව්වට පස්සේ අපට එම ක්‍රියාවලියට යන්න බැහැ. හෙට පාර්ලිමේන්තුව විසුරුවහොත් අපි පොහොට්ටුවේ සාමාජිකත්වය අරගෙන ඡන්දයට ඉදිරිපත් වෙනවා.

දෙපාරක් සාමාජිකත්වය ගන්නේ මොකටද? එක පාරක් ගත්තනේ?

අපි සාමාජිකත්වය ඉල්ලුවා. නමුත් අපට ලබා දීලා නැහැ. ඒ වගේම අපි පොදුජන පෙරමුණට ඡන්දය භාවිත කරලත් තියෙනවා.

එතකොට දුමින්ද දිසානායක මහතා කියන කාරණාවට මොකද වෙන්නේ?

දුමින්ද දිසානායක මහතා මුල ඉඳලම වැඩ කරන්නේ කොහොමද කියලා මේ රටේ ජනතාව දන්නවා. එතුමාගේ න්‍යාය පත්‍රය තුළ ශ්‍රී ලනිපය ආරක්ෂා කිරීම හෝ ශ්‍රී ලනිපය වටා ගොඩනැඟෙන ආණ්ඩුවක් ගොඩනැඟීම හෝ එතුමාගේ අරමුණු නෙවෙයි. එතුමා දින 51 කටයුතු කළ විදිය අපි දැක්කා. පාර්ලිමේන්තුවේ කටයුතු කළ විදිය අපි දැක්කා.

දැන් පාර්ලිමේන්තුවේ කණ්ඩායම් රැස්වීම් මඟඅරින ආකාරය අපි දකිනවා. එතුමාට වෙනම දේශපාලන න්‍යාය පත්‍රයක් ඇති. නමුත් අපි හදන්නේ එජාප විරෝධී අය එකතු කරගෙන මහින්ද මහත්තයාගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවක් හදන්න. ඒ න්‍යාය පත්‍රයට එතුමට ඕන නම් එකතු වෙන්න පුළුවන්. නමුත් එතුමාට ඕන රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ ජනාධිපති කරන්න නම් දුමින්ද මහත්තයා ඒ ගැන හිතලා තීන්දුවක් ගන්න ඕන.

රජය ඉදිරි අය – වැයක් ඉදිරිපත් කරන්න හදනවා. මේ හරහා සහන රැසක් දෙන්නයි ආණ්ඩුවේ උත්සාහය. එහෙම වුණොත් විපක්ෂයේ ඉලක්කවලට මොකද වෙන්නේ?

අපේ ඉලක්ක එහෙමමයි. මේ ආණ්ඩුව පරාජය කරලා අපේ ආණ්ඩුවක් හදලා අපේ ජනාධිපති කෙනෙක් පත් කිරීම අපේ ඉලක්කය. එජාපය අය – වැය ඉදිරිපත් කරන්න ඉස්සර ජාතික ආණ්ඩුවක් හදල ඇමැතිකම් වැඩි කර ගන්න උත්සාහ කරනවා. එහෙම නොවුණහොත් එජාපයේ අයමයි ඒ අයගේ අය – වැය පරාජය කරන්න අපට සහාය දෙන්නේ. අද එජාපය දෙලොවක් අතර තනි වෙලා. ඒ නිසා මොන ජනතා සහන දෙනවා කිව්වත් ඒවා වැඩි දුර අරගෙන යන්න මේ ආණ්ඩුවට බැහැ.

මොකද මේ ආණ්ඩුව ආර්ථික, සමාජීය, සංස්කෘතික වශයෙන් කඩා වැටිලා ඉවරයි.

ප්‍රගීත් සම්පත් කරුණාතිලක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here