සුදුසු ම ජනපති අපේක්ෂකයා චමල් රාජපක්ෂ යි…

0
135

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර සති අන්ත ජාතික පුවත් පතක් සමග කළ සම්මුඛ සාකච්ඡාවක් එහි ඇති වැදගත්කම හේතුවෙන් අපිදු උපුටමු.

මන්ත්‍රීතුමනි, ජනාධිපතිවරණය ළඟ ළඟම එනවා. ඔබ නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානය තවමත් ඉන්නෙ අපේක්ෂකයකු තෝරාගැනීමේ අර්බුදයක නේද?

මම හිතන්නෙ මේ මොහොතේ මේ අර්බුදයට මුහුණ දීලා තියෙන්නෙ අපි විතරක් නෙවෙයි. එක්සත් ජාතික පක්ෂය වගේම කාලෙකට පස්සෙ මේ පාර ජනාධිපතිවරණයට තරගවදින ජනතා විමුක්ති පෙරමුණත් මේ වෙලාවෙ මුහුණ දෙමින් ඉන්නෙ ‘අපේක්ෂකයකු තෝරාගැනීමේ’ අර්බුදයට.

ඒ නිසා අපිත් අනෙකුත් පක්ෂත් තමන්ට දිනවන්න පුළුවන් සහ හොඳම අපේක්ෂකයා කියලා හිතෙන පුද්ගලයා තෝරා ගැනීම වෙනුවෙන් මහන්සි වෙනවා. එතනදී පක්ෂවල අභ්‍යන්තරයේ ඇතිවෙන වාද විවාද හැලහැප්පිලි නිසා ඇත්තටම ඒක එක්තරා ආකාරයක අර්බුදයක්ය කීම ඉතාම නිවැරදි යි.

ඔබ නියෝජනය කරන සන්ධානයෙන් රාජපක්ෂවරුන් තුන්දෙනකුගේ නම් යෝජනා වෙනවා. ඔබ කැමැති බැසිල්ට ද, ගෝඨාභයට ද, එහෙමත් නැත්නම් චමල්ට ද?

මම කැමැති චමල්ට. ඒක මම ඕන තැනක කියනවා.

අනෙක් දෙන්නා නුසුදුසුයි කියල ද හිතන්නෙ?

අනෙක් දෙන්නා නුසුදුසුයි කියලා මං හිතන්නෙ නෑ. මං කියන්නේ ‘චමල්’ වඩාත් සුදුසුයි කියලා.

මොකක්ද ‘චමල්’ගේ තියෙන විශේෂ සුදුසුකම ?

පළමුවැනි කාරණය තමයි මම චමල්ව පුංචි කාලෙ ඉඳලම දන්නවා. මම රිච්මන්ඩ් එකේ ඉතිහාසය ගුරුවරයකු හැටියට වැඩ කරන කාලේ චමල් මගේ පංතියේ හිටපු දක්ෂ ශිෂ්‍යයෙක්. එදා ඉඳන් අද දක්වාම මම එතුමාව ඇසුරු කරනවා. මට කවදාවත් චමල් ගැන කියන්න කිසිම වරදක් පෙනිලා නෑ. එතුමා මන්ත්‍රීවරයෙකු, ඇමතිවරයෙකු කථානායකයකු හැටියට ඉතාම දක්ෂව විනයගරුකව සහ පරිණතව නායකයකු හැටියට ඉතාම වගකීමෙන් වැඩ කරල තියෙනවා. ඒ නිසා එතුමා මේ රටේ ඊළඟ ජනාධිපතිවරයා වෙන්න සුදුසුයි කියලා මම හිතනවා.

කොහොම වුණත් ඔබේ සන්ධානයටත් ‘ජනාධිපති අපේක්ෂකයා’ පිළිබඳ අවසන් තීන්දුවක් ගන්න තව වැඩි කාලයක් ඉතුරු වෙලා නැහැ. ඔබ හිතන විදියට ඔබේ සන්ධානය ‘ජනාධිපති අපේක්ෂකයා’ සම්බන්ධයෙන් නිල වශයෙන් ප්‍රකාශයක් කරන්න තව කොච්චර කාලයක් ගනී ද?

ඔව්. ඒක ඇත්ත. අවසන් එකඟතාවකට එන්න අපට තව වැඩි කාලයක් නෑ. මම හිතන්නෙ තව මාසයක්වත් ඇතුළත අපට අපේ අපේක්ෂකයා නිවේදනය කරන්න වෙනවා.

ජනාධිපතිවරණයට පස්සෙ මහමැතිවරණයත් එනවා. ඔබ හිතන හැටියට මහමැතිවරණයෙන් පසුව බිහිවිය හැකි ආණ්ඩුව මොකක්ද?

නිසැක වශයෙන් ම ‘මහින්ද-මෛත්‍රී ආණ්ඩුවක්’

නමුත් ඔය කියන සුසංයෝගය ඇතිවීමට එරෙහි බලවේග ඔබේ දේශපාලන සන්ධානය ඇතුළාන්තයෙනුත් ක්‍රියාත්මක වෙමින් තියෙනවා නේද?

තියෙනවා. අපේ සන්ධානෙ සමහර අයත්, නිදහස් පක්ෂයේ සමහර අයත් මහින්ද-මෛත්‍රී සන්ධානය හැදීම වළක්වන වුවමනාවකින් කටයුතු කරන බව අපටත් දැනෙනවා. බොහෝ අය කියනවා මෛත්‍රී ජනාධිපතිතුමා එක්ක එකතු වෙන්න බැහැ කියලා. හැබැයි එහෙම කියන අය, එතුමාගෙ පානෙන් එළිය බලලා කැබිනට් ඇමැතිකම් පවා ගත්තු අය. ඉතිං එහෙම අය තමයි මෛත්‍රී ජනාධිපතිතුමා එක්ක එකතු වෙලා ඊළඟ ආණ්ඩුව හදන්න බැහැයි කියන්නෙ. මට කියන්න තියෙන්නෙ ඒ අය අවසාන වශයෙන් සේවය කරන්නෙ රනිල්ට සහ යූ.ඇන්.පී. එකට.

ඇත්තෙන්ම ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට කලින් පැවැත්විය යුතුව තිබුණේ පළාත් සභා මැතිවරණය. ඇතැම් පළාත් සභාවල මැතිවරණය අවුරුදු එක හමාරක් විතර ප්‍රමාද වුණා. ඔබ නියෝජනය කරන දේශපාලන සන්ධානයත් මේ සම්බන්ධයෙන් හන්දියේ රැස්වීමේ නැත්නම් ප්‍රසිද්ධ මාධ්‍යයේ කතා කරනවා හැර මැතිවරණයක් ලබා ගැනීම වෙනුවෙන් ‘අධිකරණමය ක්‍රියාවලියකට’ යාම පැහැර හරිමින් ඉන්නවා නේද? එදා රක්ෂණ සංස්ථා ප්‍රශ්නයේදී අධිකරණයට ගිහින් ඒ නඩුව දිනපු ඔබ වුණත් පළාත් සභා මැතිවරණය වෙනුවෙන් අධිකරණයට යාමට මේ තරම් පසුබට වන්නේ ඇයි?

මැතිවරණයක් ඉල්ලමින් අධිකරණ ක්‍රියාමාර්ගයකට ගියයි කියල මැතිවරණය ඉක්මන් වෙයි කියලා හිතන්න බැරි නිසයි අපි නොගියේ. අපි මීට කලින් පළාත් පාලන මැතිවරණය ප්‍රමාද වෙන අවස්ථාවේ මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ නියෝගයක් ගැනීමට අධිකරණය හමුවට ගියා. ඒ නඩුව අවුරුදු හතරක් තිස්සෙ තාම කල් යනවා. තීන්දුවක් නෑ. දැන් කොහොම හරි පළාත් පාලන මැතිවරණය තියලත් අවසන් වෙලා. පළාත් පාලන මැතිවරණය පැවැත්වුණායින් පස්සෙ අපි දාපු මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළව තීන්දුවක් ලැබිලත් වැඩක් නෑනෙ.

මේ වගේ විහිළු වැඩක් නැවත වෙයි කියන පදනමින් තමයි අපි පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළව අධිකරණ නියෝගයක් ගැනීම සම්බන්ධයෙන් උනන්දු නොවුණෙ.

මෙවැනි අධිකරණමය කටයුතු සම්බන්ධයෙන් ඔබට තියෙන්නෙ දැඩි කලකිරීමක්… එහෙම නේද?

අපේ උසාවිවල ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඔවුන් කිසිවෙකුට කිසිවකට වගවෙන්නෙ, වගකියන්නෙ නෑ. දේශපාලකයො හැටියට අපි ජනතාවට වගකියනවා. රජයේ නිලධාරීන් දේශපාලකයින්ට, ඒ කියන්නෙ අමාත්‍ය මණ්ඩලයට වගකියනවා. විනිසුරුවරුන් වගකියන්නෙ කාට ද? ඔවුන් හැසිරෙන්නෙ සර්වබලධාරී දෙවිවරු වගේ. මේ වෙනකොට ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය සම්බන්ධයෙනුත් මෙවැනි ප්‍රශ්න පැනනැගිලා තියෙනවා.

අධිකරණ විනිසුරුවරුන් පත්කරන ‘ව්‍යවස්ථාදායක සභාව’ සම්බන්ධයෙනුත් දැන් ඔබ ඉන්නෙ ඉතාම දැඩි විවේචනයක. හැබැයි ඔබත් ඒ ‘ව්‍යවස්ථාදායක සභාවේ’ පීතෘත්වය දරන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අත ඉස්සුවා…?

මම පැහැදිලිව කියන්නට ඕනෑ, මේක මේ 19 වැනි සංශෝධනයෙ ප්‍රශ්නයක් නෙවෙයි. ඉන්පසුව ඇති වූ දේශපාලන විකෘතියේ ප්‍රශ්නයක්. ව්‍යවස්ථාදායක සභාව පක්ෂග්‍රාහී වුණේ 2015 මහමැතිවරණයෙන් පසුව මේ රටේ ඇතිවූ දේශපාලන වාතාවරණය අනුවයි. එම දේශපාලන වාතාවරණය යටතේ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් ආණ්ඩුවත් සමග එවකට විපක්ෂයේ දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ වගේම කථානායකත් හිටියේ නොනිල වශයෙන් එකඟතාවක් ඇතිකරගත් එකම පිලක. ඒ නිසා ව්‍යවස්ථාදායක සභාවට නිල බලයෙන් පත්වූ අයත් ඒ ඒ නිලයන් විසින් නම්කර පත්කර එවූ අයත් එකම න්‍යාය පත්‍රයක වැඩ කළේ. දැන් ජනාධිපතිවරයා ඒ සන්ධානයේ නැති නිසා, විනිසුරුවරුන් ලෙස පත්කළ යුතු යැයි එතුමා විසින් නම් කර යවන පුද්ගලයින්ව ව්‍යවස්ථාදායක සභාවෙන් ප්‍රතික්ෂේප වෙනවා. ඕක තමයි ව්‍යවස්ථාදායක සභාවේ ප්‍රශ්නය.

‘ව්‍යවස්ථාදායක සභාව’ ගැන ඉල්ලපු පාර්ලිමේන්තු විවාදයත් කල් ගියා නේද?

විවාදය කල් ගියා විතරක් නෙවෙයි. කථානායකවරයා පාර්ලිමේන්තු වරප්‍රසාදත් කඩකරමින් පාර්ලිමේන්තුව තුළ ව්‍යවස්ථාදායක සභාව විවේචනය කරන්නට මන්ත්‍රීවරුන්ට වගේම ජනාධිපතිවරයාට තියෙන අයිතියත් උදුරා ගනිමින් ඉන්න බව පේනවා. පහුගියදා ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයට උත්තර දෙමින් ජනාධිපතිවරයා දෝෂ දර්ශනයටත් ලක්කරනවා. ඒක එක අතකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් පටහැනියි.

තමන් ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයා වුණු පලියට පාර්ලිමේන්තුව තුළ ව්‍යවස්ථාදායක සභාව ගැන විවේචනය කරන්නට අපට ඇති අයිතිය නැතිකරන්නට කථානායකවරයාට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැහැ. ඇත්තම කතාව කථානායකවරයා තමන් සභාපතිත්වය දරන ව්‍යවස්ථාදායක සභාවේ ඔක්කොම වැරදි වහනවා.

ඔබේත් ආශීර්වාදය අන්‍රග්‍රහය සහිතව පසුගියදා සිද්ධ වුණු ‘ඔක්තෝබර් විප්ලවය’ ගැන අද මොකද හිතෙන්නෙ? දවස් පනස්දෙක් තුළ ඔක්කොම කණපිට හැරුණා නේද?

‘වැරදි නඩු තීන්දු දෙකක්’ නොවන්නට අපි ඒ විප්ලවය ජය ගන්නවා. එහෙනං මේ වෙනකොට අලුත් ජනවරමක් ලැබිලා, අලුත් ආණ්ඩුවක් පත්වෙලා, මේ රට අලුත් ගමනක් පටන් අරන්.

අධිකරණ තීන්දු විවේචනය කරන එක ‘අධිකරණ අපහාසයක්’ නෙවෙයි ද?

අපි ඒ තීන්දු ප්‍රතික්ෂේප කළාය කිව්වොත් තමයි අධිකරණ අපහාසයක් වෙන්නෙ. එහෙම නැතුව ඒ තීන්දු වැරදියි කිව්වාය කියල අපහාසයක් වෙන්නෙ නෑ.

අපි පත්කළ කැබිනට් එක නීති විරෝධියි කියල දුන්නු තීන්දුවයි, මහමැතිවරණය කැඳවීම නීති විරෝධීයි කියල දුන්නු තීන්දුවයි කියන දෙකම වැරදි තීන්දු දෙකක්. මම බොහොම වගකීමෙන් මේක කියන්නෙ. ඇත්තටම මේ නඩුතීන්දුවලට එරෙහිව අභියාචනය කරන්න තව තැනක් තිබුණ නම් අපි අභියාචනය කරනවා. නමුත් එහෙම තැනක් නෑ.

ඔබ කියන හැටියට අධිකරණය මේ ‘වැරදි තීන්දු දෙක’ දෙන්නේ, යම් ආකාරයකට ‘පක්ෂග්‍රාහීව’ කියල ද?

අපට එහෙම කියන්න බෑ. නමුත් ඒ විනිසුරුවරුන් ඒ වෙලාවේ ඒ තීන්දු දුන්නෙ ජනතාවගේ පරමාධිපත්‍ය බලය දිහා බලලා නෙවෙයි. ඒ ගොල්ලො බැලුවෙ ව්‍යවස්ථාවේ වගන්ති විතරයි. විනිසුරුවරුන් කිසියම් තීන්දුවක් දෙනකොට කාර්යය ඊට වඩා පුළුල් දැක්මක් සහිතව කටයුතු කළ යුතු බව ඒ අය නොදැන හිටියාද කියන්න අපි දන්නේ නෑ.

ඔබ දකින විදියට මේ ආණ්ඩුවෙ, ඒ කියන්නෙ ‘යහපාලන ආණ්ඩුවෙ අසමත්භාවය’ මොකක්ද?

මේ අයට වැරදුණු ප්‍රධාන තැන තමයි, මේ අය ආර්ථිකය ගැන හිතුවෙ වෙළෙඳපොළ කේන්ද්‍රකරගෙන පමණයි. ජනතාව ගැන බැලුවෙම නෑ. වෙළෙඳපොළ කේන්ද්‍ර කරගෙන ඔවුන් හදන්න හදපු ආර්ථිකයත් ඔවුන් බලාපොරොත්තු වුණු මට්ටමට සාර්ථකව හැදුණෙ නෑ. මොකද මේ ආණ්ඩුව පටන් ගත්තු දවසේ ඉඳලම කඩා වැටෙමින් තිබීම නිසා විදේශ ආයෝජන හෙම හිතපු තරමට ලැබුණෙ නෑ. අස්ථාවර ආණ්ඩුවක් තියෙනකොට ආයෝජකයො මුදල් ආයෝජනය කරන්නෙ නෑ.

ඊට අමතරව මේ අය කියපු විදියට ‘යහපාලනය’ ක්‍රියාත්මක කළේ නෑ. ඒ අය ඒ වචනයත් හෑල්ලු කළා. ‘යහපාලනය’ විතරක් නෙවෙයි ‘ප්‍රජාතන්ත්‍රවාදය’ කියන වචනයත් අර්ථ විරහිත තත්ත්වයට පත් කළා. මම එහෙම කියන්නෙ මේ ආණ්ඩුව පත් වුණු දවසේ ඉඳන්ම මහජනයාගේ ඡන්ද අයිතිය උදුරා ගනිමින්, සෑම ඡන්දයක් ම හිතා මතා කල් දාපු හින්දා. ඡන්දය කියන්නෙ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධානතම අංගය.

ඔබ ප්‍රාර්ථනා කරන ආකාරයට මේ රටේ බිහිවන මීළඟ ආණ්ඩුව ඔබේ ආණ්ඩුවක් වුණොත්, ඔබේ ආර්ථික ප්‍රතිපත්ති මේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිවලින් වෙනස් වෙන්නෙ කොහොම ද? මං අහන්නෙ, උදාහරණයක් හැටියට ඔබ අයි.එම්.එෆ්. එකෙන් ණය ගන්නෙ නැද්ද?

අයි.එම්.එෆ්. එකෙන් ණය ගත්තත් මේ ආණ්ඩුව වගේ ඔවුන් දමන සෑම කොන්දේසියකටම යටත් වෙමින් ඔවුන්ටම අනුව නටන අදහසක් නම් නැහැ. ආර්ථික වර්ධන වේගය 6% ක 7% ක පවත්වාගෙන යන සැලසුමක් අපට තියෙනවා. හැබැයි ඒක කරන්නෙ අයි.එම්.එෆ්. කොන්දේසි අනුව රාජ්‍ය ආයතන පෞද්ගලීකකරණය කරලා නෙවෙයි. එහෙමත් නැත්නම් අපේ මුදල් ඒකකය හැකි තාක් දුරට බාල්දු කරලා නං නෙවෙයි.

මේ ආර්ථිකය ඉතා බලගතු ව්‍යුහාත්මක වෙනසකට භාජනය කරමින්, ජනතාවට සහන සලසන, රටේ ආර්ථිකය යහපත් කරන නව ආර්ථික වැඩපිළිවෙළක් අපි මේ රටට හඳුන්වා දෙනවා. ඇත්තෙන්ම අපි යෝජනා කරන්නේ සමාජ – ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථික රාමුවක්.

මන්ත්‍රීතුමනි, අපි දන්න කාලේ ඉඳන්, ඇත්තටම නොදන්නා කාලේ ඉඳන්, හැම පාර්ලිමේන්තුවකම ඔබ ඉන්නවා. ඇත්තටම දැන් ඔබට වයස කීයක් වෙනවද?

මට දැන් අවුරුදු 80 ක් වෙනවා.

දැන් අපේ රටේ ජනප්‍රිය වෙමින් තියෙන මතයක් තමයි ‘පාර්ලිමේන්තුවට සීයලා එපා’ කියන එක. එහෙව් ජනමතයක් ප්‍රචලිත වෙමින් තියෙන වකවානුවක ඔබ ඊ ළඟ පාර්ලිමේන්තුවටත් පත්වුණොත් ‘මිනිස්සු මොනවා නොකියයි ද?’

මමත් එහෙම හිතනවා. මම අපේ පක්ෂයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරුණයෙකුව දාන්න බලාපොරොත්තු වෙනවා. ඒ සබරගමු පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක්ව කටයුතු කරපු නමින්ද අනුරප්‍රිය. නමුත් මං දන්නේ නෑ මගේ දේශපාලන සන්ධානය මට ඒ නිදහස දෙයි ද කියලා. අපි බලමු.

සුරේඛා සමරසේන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here