ජනතාවට වැඩකිරීමෙන් සතුටුවෙන බුද්ධික පතිරණ බත් කන කකුල් දෙකේ හරක් ගැන කියයි…

0
56
බුද්ධික ප.ිරණ

ඔබ පක්‍ෂය ඇතුළේ සතුටින්ද ඉන්නේ?

මම පක්‍ෂය ඇතුළේ හැමදාම සතුටින් හිටියේ. වෙනසක් නැහැ. සතුට කියන කාරණය මගේ නිතරම තීරණය වෙන්නේ ජනතාවට වැඩ කිරීමෙන්.

නමුත් ඔබට සමාන්තරව ඔබ ආ වකවානුවේම පාර්ලිමේන්තුවට තේරී පත් වූ අයට ඇමැතිකම්, නියෝජ්‍ය ඇමැතිකම් ලැබෙද්දී බුද්ධික පතිරණ මේ නියෝජ්‍ය ඇමැතිකම ලැබුණේ ලොකු කට්ටක් කාලා නේද?

ඇත්ත දේ මම මාර කට්ටක් කාලා තනතුරු ඉල්ලුවේ නැහැ. තනතුරු නොලැබුණාම මට ඇයි නොලැබුණේ කියලා ඒ වෙනුවෙන් පස්සෙන් ගිහිල්ලත් නැහැ. ආණ්ඩුවක් ආ වෙලාවකදී ඔබ කියන නියෝජ්‍ය ඇමැතිකම් තනතුරක් මීට පෙර නොලැබීම කියන කාරණය මම බරපතළ කාරණයක් ලෙස අරගෙන නැහැ. මොකද හැමවිටම මට වැඩකරන න්‍යාය පත්‍රයක් තිබුණා. ඒ තුළ මට තනතුරක් තානාන්තරයක් නැති වුණත් හැමතිස්සේම වැඩ කළා. මට නෙවේ ඒ ගැන දුකක් කලකිරීමක් තිබුණේ මගේ ඡන්ද දායකයන්ට. හැබැයි ඒක මට අදාළ වුණේ නැහැ. දිගටම මම වැඩ කරනකොට රටේ මං ගැන ජනතාවට තිබූ විශ්වාසය තවත් වැඩි වුණා.

නමුත් එ.ජා.ප.යේ බර ඇදපු අය හැමදාම පැත්තකට විසි වෙද්දී පැත්තක සිටි අයට ඉහළ තනතුරු ලැබුණු බව ප්‍රසිද්ධ මතයක්?

මං හිතන්නේ පක්‍ෂයක බර ඇදපු අපි කැපිල්ලට ලක් වෙනකොට වෙනත් අයට තනතුරු ලැබෙනවා කියලා ඔබ කියූ කාරණය ලංකාවේ සාතිශය බහුතර දේශපාලන පක්‍ෂ තුළ ඇති වෙමින් නැති වෙමින් යන කාරණයක්. එය මැනිය යුත්තේ සාපේක්‍ෂව. සමහර විට අපේ දේශපාලන ඉතිහාසය කියනකොට තේරෙනවා යම් වෙලාවකට සමහර නායකයෝ වෙනුවෙන් කර තියලා බර ඇදපු නායකයන්ට ක්‍රියාමාර්ග ගන්න වෙලා තියෙනවා. මොකද ඒ මොහොතේ ඒ චරිතය ගත්ත ක්‍රියාමාර්ග එක්ක. ඒ නිසා බර ඇද්දාද නැද්ද කියන එක නෙවෙයි ඔහු ව්‍යුහය තුළ කටයුතු කරන ආකාරයයි වැදගත්.

මැතිවරණ කිහිපයකට නියමිත මේ වසරේ ඔබලා මුලින්ම තරග කරන්න සූදානම් කුමන මැතිවරණයටද?

ක්‍රමවේදය අනුව බැලුවොත් සැප්තැම්බර් වෙනකොට පළාත් සභා මැතිවරණය පැමිණිය යුතුව තිබෙනවා. හැබැයි ඒ සඳහා පාර්ලිමේන්තුව තුළ යම් එකඟතාවක් ඇති කරගෙන පනතේ තත්ත්වය අපි නිර්මාණය කර ගත යුතුයි. ජනාධිපතිවරණය ජනවාරි 08දා වන විට පවත්වා අවසන් කළ යුතුව තිබෙනවා. ඒ වගේම මහ මැතිවරණය 2020 අගෝස්තු – සැප්තැම්බර් වෙද්දී පැවැත්විය යුතුව තිබෙනවා. නමුත් පවතින නීතිමය කාරණාවලට වඩා ඇති වන දේශපාලන තත්ත්වය එක්ක කාරණා වෙනස් වෙනස් වෙන්න පුළුවන්.

එක්සත් ජාතික පක්‍ෂය බයයි නේද මැතිවරණවලට?

අපෝ නැහැ. එ.ජා.ප.ය හැම මැතිවරණයකටම මුහුණ දීලා තියෙනවා.

බය නැතිනම් අවුරුදු එකහමාරකට වඩා විසුරුවා තිබෙන පළාත් සභා ඡන්දය පවත්වන්න කිසිදු සූදානමක් නැත්තේ ඇයි?

ඒක එක්සත් ජාතික පක්‍ෂය පිළිබඳ බලපෑ කාරණයක් නෙවෙයි.

නමුත් එ.ජා.ප.ය ප්‍රමුඛ ආණ්ඩුවක් දැන් රට පාලනය කරන්නේ. මේ ගැන වගකීමක් තිබෙනවා?

මේ පළාත් සභා කල්දාන්න සිද්ධ වුණේ අදාළ පනත් කෙටුම්පත් හා විශේෂයෙන් සීමානිර්ණ කමිටු වාර්තාවට අදාළ කාරණා නිසා. ඒ මතවලදී ශ්‍රී ල.නි.ප.යයි අපියි හිටියේ එක මතයක. අද ශ්‍රී ල.නි.ප.යෙන් අයින් වුණු මන්ත්‍රිවරුන්ට ඒ කාරණයෙන් ගැලවෙන්න බැහැ.

නව මැතිවරණ ක්‍රමය හරහා යෑමට කල් මදි නම් පැරැණි ක්‍රමයට වුවත් මැතිවරණය යෝජනා සම්මතයකින් පැවැත්වීමේ බාධාවක් නැහැ නේද?

ඔව්, ඉතින් පැරැණි ක්‍රමයට යන්න සතුටු නම් ඒ ක්‍රමයට යා යුතුව තිබෙනවා. එක්සත් ජාතික පක්‍ෂය කටයුතු කරනකොට ඉතා පැහැදිලිව පාර්ලිමේන්තුවේ එකඟතාව සමඟ අප සිටිනවා. පසුගිය අවුරුදු 4 තුළත් හිටියේ එහෙම.

ඒක ගැටලුවක් නැහැ. ඔබ දන්නවා පළාත් සභා එකවර පැවැත්වීමට පුළුවන්කම තියෙද්දී මහින්ද රාජපක්‍ෂ මහත්තයා කඩින් කඩ මැතිවරණ පැවැත්වුවා. ඒ නිසාම පළාත් සභා ක්‍රමය එක පැත්තකින් විහිළුවක් වුණා. අනෙක් පැත්තෙන් ව්‍යාකූල වුණා. ඒ දේ නිවැරැදි කරගත යුතුව තිබෙනවා. ඒ නිසා දැන් ජනාධිපතිතුමාට පුළුවන් එතුමාගේ ආණ්ඩුකාරතුමන්ලා එක්ක සාකච්ඡා කරලා කටයුතු කරන්න. ඉතිරි පළාත් සභා තුන විසුර වූ පසු සියල්ල එක දිනෙක පැවැත්වීමට ජනාධිපතිතුමන්, අගමැතිතුමන් පොදු තීන්දුවකට ගියොත් ඒක සාධනීය පියවරක් වෙයි.

ඒ කාරණා සමඟ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නියමිත වෙද්දී වසරේ අඩකට වඩා ගෙවී ගොස්. ඊට පෙර වෙනත් මැතිවරණයක් පවත්වයිද?

ඒක තීරණය වෙන්න ඕනෑ ජනාධිපතිතුමත් අගමැතිතුමත් කතා කරලා ගන්න ඕනෑ පොදු තීරණයකට.

කෙසේ වුවත් ජනාධිපතිවරණයක් මේ වසරේ පැවැත්වීමට නියමිතයි. ඔබ සජිත් පිළේ ප්‍රසිද්ධ සාමාජිකයෙක් හැටියට කවුද අපේක්‍ෂකත්වයට සුදුසු?

පළමු කාරණය මා සජිත් පිළේ ප්‍රධාන සාමාජිකයෙක් නොවෙයි. ඒ කට්ටිය කියන කාරණා අනුව නසූර්ඩීන් ඉස්සරහා පාන් ගෙඩියක් තිබ්බම 9 දෙනෙක් පාන් ගෙඩිය ගැන ලිව්වේ කරුණු නවයක්නේ. අපි ඒ වෙලාවේ අරගලයක් කළා. ඒ අරගලය කළේ සජිත් ප්‍රේමදාස කියන චරිතය කේන්ද්‍ර කරගෙන. එහිදී අපි කිව්වේ එ.ජා.ප. ආණ්ඩුවක් ගන්න ඕනෑ කියලා. ඒ අනුව එ.ජා.ප.යේ ව්‍යුහයන් 7ක වෙනස් කිරීමක් ගැන කිව්වා. ඒ නිසායි මා සජිත් පිළේ වුණේ. වැරැදිලාවත් වෙන කෙනෙක් කේන්ද්‍ර කළා නම් කියයි ඒ පිලේ කියලා. ඒ අනුව ආණ්ඩුව ආවා. ආයේ ඔක්තෝබර් 26දා ඒ ආණ්ඩුව ගිලිහිලා ගියා. කලින් වගේම අරගලයක් කළා රනිල් වික්‍රමසිංහ මහත්තයා මූලික කරගෙන. එදා රනිල් වික්‍රමසිංහ මහතා නැවත අගමැති කරන අරගලය අපි කළා. එය අපි දිනුවා.

එතකොට එ.ජා.ප.යේ ඊළඟ ජනපති අපේක්‍ෂකයා ගැන ඔබේ අදහස මොකක්ද?

ඒක තීරණය කරනවා අපි. මමත් කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයෙක් විදියට ජනාධිපතිවරණය කැඳෙව්වොත් ඒ වහාම අපි කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වෙලා අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් විශ්වසනීයම අපේක්‍ෂකයා අපේ ජනපති අපේක්‍ෂකයා වෙනවා.

නමුත් ඔබ මීට පෙර සජිත් ප්‍රේමදාස නායකත්වයට සුදුසුයි කිව්වා නේද?

නැහැ. මම කිව්වේ නායකත්වය පමණක් නොවෙයි කරුණු 7ක් වෙනස් විය යුතුයි කියලා. නායකත්වය වෙනස් වූ පමණින් පක්‍ෂයක් දිනන්න පුළුවන් කියලා මං විශ්වාස කරන්නේ නැහැ. ඒ කරුණු හතේ පරිවර්තනය සිද්ධ වුණා.

නියෝජ්‍ය ඇමැතිකමට තට්ටු වෙයි කියලා බයටද මේ උත්තර නොදී ඇඹරෙන්නේ?

අපෝ නැහැ. නියෝජ්‍ය ඇමැතිකම නොවෙයි, ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රිකම තියෙද්දීත් මං ඕකමයි කිව්වේ.

ඔබ කුමන තර්කය ගොඩනැඟුවත් අපි මෙතෙක් දැක තිබෙන කාරණයක් තමයි එ.ජා.ප.යේ එළියේ කෑගහපු අයට ඇමැතිකම්, නියෝජ්‍ය ඇමැතිකම් ලැබෙන කොට ඒ අයගේ කටත් ඒ සමඟම වැසෙන තත්ත්වයක්. මේ නායකයාට තියෙන බයට නේද?

මම සාමාන්‍ය පසුපෙළ ආණ්ඩු පක්‍ෂයේ හෝ විපක්‍ෂයේ මන්ත්‍රිවරයකුටත් වඩා මගේ කට සද්ද මේ නියෝජ්‍ය ඇමැතිකමේ ඉද්දි. ආණ්ඩුව තුළ අදාළ ක්‍රියාමාර්ග තුළදී මං උපරිම කතා කළා. ඒ නිසා නියෝජ්‍ය ඇමැතිකම කියන්නේ මගේ කට වහන්න දුන්නු කටකලියාවක් නොවෙයි.

එ.ජා.ප.යේ පාර්ශ්ව කිහිපයක් විවිධ මත දරනවා ජනපති අපේක්‍ෂකත්වය ගැන. රනිල් වික්‍රමසිංහ සුදුසු නැහැ. සජිත් ප්‍රේමදාස පරිණත නැහැ වගේ කියද්දී තව කොටසක් බෙදිලා කාකොටා ගන්නවා. ඇයි මේ එක් මතයකට එන්නම බැරි?

නැහැ. ඉතා පැහැදිලිව නැවත ඔබ ජනාධිපති අපේක්‍ෂකකම ගැන නම් අහන්නේ එය කෘත්‍යාධිකාරි මණ්ඩලයේ තීන්දුවට භාර දෙයක්. හැබැයි විවිධ මත තියෙන්න පුළුවන්. ගෙදරක් බලන්න. ගෙදර නෝනා රෑ 7.00 ඉඳලා 8.00 වෙනකම් රූපවාහිනි නාළිකාවක් බලන්න කියන මතයේ නෙවෙයි මහත්තයා ඉන්නේ. අන්තිමට කොහොම හරි එතැන ප්‍රබල මතය ජයගත්තාම ඒ මතයත් එක්ක ඉඳගෙන එක්කෝ රූපවාහිනි නාළිකාව බලනවා, නැත්නම් කාමරේට ගිහිල්ලා නිදියනවනේ.

ඔබ හරි තැනට ආවා. ප්‍රබල මතය අවසන් මතය වෙන බවයි ඔබේ අදහස. රනිල් වික්‍රමසිංහ මහතා ගන්න මතයක් බොහෝ විට අවසන් මතය නේද ඔබේ පක්‍ෂය තුළ?

නෑ, ප්‍රබල මතය වෙන්නේ පක්‍ෂය ජයග්‍රහණය කරන මතය. ඉතින් ඒ මතයට අපි යනවා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමඟ තිබූ ගැටුම ඉවරද?

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමත් අපේ අග්‍රාමාත්‍යතුමත් ආපහු සැරයක් මේ වෙනස්කම්වලින් පස්සේ ඉතා පැහැදිලිව අවශ්‍ය සාකච්ඡා සහිතව ආණ්ඩුව පවත්වාගෙන යන ආකාරය ඔබ දකිනවා ඇති. ඒ නිසා මත වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒ මත වෙනස්කම් මැද්දේ අපි යනවා. දැන්නම් ගැටුමක් නැහැ.

ගැටුමක් නැත්නම් ඇයි ඔබේ ආණ්ඩුවේ දූෂණ හොයන්න දැන් ජනපති කොමිසමක් පත් කරන්නේ?

අන්න ඒක තමයි අපි කාගෙත් ප්‍රජාතන්ත්‍රවාදය. එදාට වඩා පරිණතව භාවිත කිරීම. එදා 2015ට පෙර තමුන්ගේ ඇමැති මණ්ඩලය විවිධ තත්ත්වයන් ඇති වුණාම ඒ හොරු, තක්කඩි, වංචාකාරයෝ රැක්කා. දැන් බලන්න අපි හදලා තියෙන ක්‍රමවේදය. ඇතුළේම ප්‍රශ්නවලට කොමිසමක් පත් කරන්න පුළුවන්. ඒ කොමිසමට ඇවිල්ලා සාක්‍ෂි දෙනවා. අගමැතිතුමා ගිහිල්ලා සාක්‍ෂි දෙනවා. ඇමැතිවරු ගිහිල්ලා සාක්‍ෂි දෙනවා. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ නව ස්වරූපය. ඒ නව ස්වරූපය පෙළක් වෙලාවට තේරුම් ගන්න බැහැ සමහරුන්ට.

දැන් හරකෙක් ගන්නකෝ. හරකා පාර අයිනේ තියෙන තණකොළ කාගෙන කාගෙන යනවා. උෟ ගොයම් දකිනවා. උෟට තේරෙනවාද තණකොළවලින් ගොයම් වෙනස් කියලා. උෟ හිතන්නේ ගොයම් කියන්නෙත් තව තණකොළ විශේෂයක් කියලා. ඉතින් පාරේ තණකොළ කන හරකට ගොයමේ සහ තණකොළේ වෙනස තේරෙන්නේ නැහැ. ඒ වගේ තමයි වර්තමානයේ කකුල් දෙකේ සමහර බත්කන හරක් ඉන්නවා. ඒගොල්ලන්ට ප්‍රජාතන්ත්‍රවාදයේ නව ස්වරූපය අර ගොයම් හා වටිනාකමකින් තේරෙන්නේ නැහැ.

ඔබේ ආණ්ඩුව යටතේ එල්ල වී තිබුණු ගිං නිල්වලා ව්‍යාපෘතිය සමහර ඇමතිවරුන්ට විරුද්ධ චෝදනා, ඉන්ධන ගෙන්වීමේදී සිදුවූ වංචා, කිරි හරක් ගෙන්වීමේදී, ගල්අඟුරු ප්‍රශ්නය ඇතුළු සියල්ලට නීතිය ක්‍රියාත්මක වෙයිද ඉතින්?

සියල්ල හොයනවා. පසුගිය 21දා පාර්ලිමේන්තුවේ තලතා අතුකෝරල අධිකරණ ඇමැතිවරියගේ කතාවේදී දකින්න ඇති අපේ 2015 ජනවාරි 08න් පසු කවර හෝ චෝදනාවක් පිළිබඳව සම්පූර්ණ පරීක්‍ෂාවක් කරන්නත් සියලු ක්‍රියාමාර්ගවලට යන්නත් අපේ සහාය දෙනවා.

ඔබලාගේ ආණ්ඩුවේ දූෂිතම වංචාව හැටියට සැලකෙන බැඳුම්කර වංචාවේ වගකිවයුත්තා ඔබේ නායකයා බවට ඇති ප්‍රබල චෝදනාවෙනුත් මඟහරින්න බැහැ. ඉතින් රනිල් වික්‍රමසිංහට එරෙහිවත් ක්‍රියාත්මක වෙයිද ඔබේ ඔය සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය යටතේම?

අගමැතිතුමා ඒ සම්බන්ධයෙන් එතුමාගේ තියෙන පෞරුෂය පෙන්නුවා කොමිසම ඉදිරියට ගිහිල්ලා. ඒ නිසා අගමැතිතුමාම පාර්ලිමේන්තුවේදී කිව්වා බැඳුම්කරය පිළිබඳව යන ඕනෑම නීතිමය ක්‍රියාමාර්ගයකට මමත් මගේ රජයත් සහයෝගය දෙනවා කියලා. ඒ නිසා ඒ ගැන අමුතුවෙන් අටුවා ටීකා ටිප්පනි සහතික වුවමනා නැහැ.

ඔබත් මාධ්‍යවේදියෙක් ලෙස මා මෙහෙම අහනවා. හැම ආණ්ඩුවකම අවසන් කාලය එද්දී මාධ්‍ය එක්ක ගැටුමක් පටන් ගන්නවා. කළු මාධ්‍ය වළල්ල යැයි කියමින් දැන් එය අරඹා තිබෙනවා නේද?

කිසිම මොහොතක ආණ්ඩුව මාධ්‍ය ඉලක්ක කරලා පහර දීමේ චේතනාන්විත ක්‍රියාමර්ගයකට යන්නේ නැහැ. මම මාධ්‍යකරුවෙක් විදියට එදත් අපේ ආණ්ඩුව යටතේත් දැකපු දේවල් ගැන මම පාර්ලිමේන්තුවේදී නැඟිටලා කතා කෙරුවා.

අපි එදා ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඇතුළු මාධ්‍යකරුවන් තිරශ්චීන විදියට ඝාතනය කරද්දී අතුරුදන් කරද්දී, සැලෝන් දාලා කොණ්ඩ කපද්දී, රෝහණ කුමාරලා ඝාතනය කරද්දී අපි කොන්දේසි විරහිතව එදා ඒ දේ වැරැදියි කියලා අප දැක්කා. අපේ ආණ්ඩුව ආවට පස්සේ මාධ්‍යට අතවර එල්ල වෙද්දී ඒ කාරණයේදීත් කොන්දේසි විරහිතව පෙනී සිටියා. පළාත් පාලන මැතිවරණයෙන් පසු සිරස මාධ්‍ය ඉදිරියේ රතිඤ්ඤා පත්තු කරද්දී මං ඊට එරෙහිව මතය ප්‍රකාශ කළා.

ඒ ඔබ නියෝජනය කළ මාධ්‍ය නිසා නේද?

ඒ වගේම තමයි ‘මව්බිම’ පත්තරේට අසාධාරණයක් වුණොත් ඒ අරගලයේදීත් මං එතැන ඉන්නවා. සිරස විතරක් නෙවේ ඊව්ඹ් රූපවාහිනියේ පොල්ගහවෙල විකාශනාගාරය සම්බන්ධව ගත්ත ක්‍රියාමාර්ගයේදීත් ඒ ගැනත් කතා කළා.

ඊව්ඹ් ඔබේ නායකයාගේ සහෝදරයාගේ රූපවාහිනි නාළිකාව. ඉතින් ඔබට කැක්කුමක් තිබීම සාධාරණයි නේද?

ඔය ආයතන දෙකක් එක්කම මගේ ළබැඳියාවන් අතර ගැටුමක් හින්දා කියන්න පුළුවන්. ඇත්ත. ඒත් මං නැවත කියනවා කුමන මාධ්‍ය ආයතනයකට හෝ එරෙහිව මං හිතන්නේ නෑ වර්තමානයේ මාධ්‍ය ආයතනවලට එහෙම තර්ජන සිවිල් සමාජය තුළ පිළිගනියි කියලා. ඊව්ඹ් එකට කළත් ‘මව්බිමට’ කළත්, ජාතික රූපවාහිනියට කළත්, ලංකා ඊ නිව්ස් එකට කළත්, සිරසට කළත් ඒ වගේම ලංකාවේ සමහර වාමාංශික දේශපාලන පක්‍ෂත් එක්ක බැඳුණු පුවත්පත්වලට හෝ ඒ දේ වුණත් මං ඒකට එකඟ නැහැ.

නමුත් මාධ්‍ය වාරණය ගැන ප්‍රබල සංවාදයක් තිබෙනවා නේද?

පළමු වැනි කාරණය අද වාරණය කියන එක ජෝක් එකක්. කවර හෝ ආණ්ඩුවක් සෘජුව හෝ වක්‍රව තර්ජනය කරනවයි කියන්නේ ඒ අය මධ්‍යම සහ ඉහළ මධ්‍යම පන්තියෙනුත් ඒ වගේම මේ නිදහස් සමාජයක් අපේක්‍ෂා කරන සියලු දෙනාත් පිරිහෙන්නට හේතුවක්. ඒ වගේම සමාජ මාධ්‍ය ප්‍රබල වෙලා තියෙන යුගයක මේ දිහා වෙනත් කෝණයකින් මුළු රටට බලනවා. හැම තිස්සේම නූතනත්වයත් එක්ක ඉන්න කෙනෙක් විදියට මට පේනවා අද රටේ ඇතිව තිබෙන විශේෂ තත්ත්වයක්.

අන්තර්ජාලය හා නව මාධ්‍යයත් එක්ක ඇතිව තිබෙන තත්ත්වය එක්ක ජනතාව තමුන්ට තොරතුරු ඉක්මනින් ලබා ගැනීමට සාම්ප්‍රදායික මාධ්‍ය ගොන්න වගේම තව මාධ්‍යයන් භාවිත කරනවා.

ඔබේ නායකයාට අනුව රටේ කළු මාධ්‍ය වළල්ලක් ක්‍රියාත්මක වෙනවාද? එය ඔබ අනුමත කරනවාද?

නායකතුමාට අදාළ කාරණා ඔබ එතුමාගෙන් අහන්න. ඒ නිසා ඔහු කළු මාධ්‍ය සම්බන්ධයෙන් දක්වපු අර්ථ දැක්වීම පිළිබඳ ගැඹුරු විග්‍රහයක යෙදෙන්න මං දන්නේ නැහැ. මොකද ඔය සිද්ධිය වෙද්දී මම ලංකාවේ හිටියේ නැහැ. මොකද කෙනෙක් පැයක් කතාවක් කළහම එය නාළිකාවක යන්නේ තප්පර ගාණක්. පුවත්පතක යන්නේ කොලම් ගාණක. ඒ නිසා ඔය කතාවේ සම්පූර්ණ සන්දර්භය නොදැන මේ මොහොතේ අදහස් දැක්වීම සාධාරණ නැහැ.

නමුත් මාධ්‍යකරුවෙක් ලෙස මෙවැනි කාරණාවලදී ඔබ සංවේදී විය යුතු නැද්ද?

මං අනුන්ගේ පිට්ටනිවල සෙල්ලම් කරන කෙනෙක් නෙවෙයි. නොදන්න දේවල් ගැන මං කතා කරන කෙනෙක් නෙවෙයි. ඒ නිසා අගමැතිතුමා කියපු දේ ගැන මට ගැඹුරු අධ්‍යයනයක් කරලා ඒ ගැන මං බලලා කියන්නම්. මට පොඩි චාන්ස් එකක් දෙනවා නම් අපි වෙනමම ඒ ගැන කතා කරන්න අපි ඒක කරමු.

ආණ්ඩුව ජනතාවට කිසිවක් නොකරන බවට පැහැදිලි මතයක් ගොඩනැඟී හමාරයි. වේදිකාවලත්, මාධ්‍ය ඉදිරියෙත් පම්පෝරි විතරයි කියලා ඔබේ ආණ්ඩුවට චෝදනා කරනවා?

එහෙම කියනවා විපක්‍ෂයේ අය. අපේ ආණ්ඩුව මෙන්න මේ කියන අංශවල දේ නම් කිසිවක් කරන්නේ නැහැ. පළමු දේ තමයි අර සරත් ෆොන්සේකා මහතා අර සතෙක් වගේ ඇදගෙන ගියේ. ඒ වැඩ අපි කොහෙත්ම කරන්නේ නෑ. ශිරාණි බණ්ඩාරනායක මහත්මිය එළවලා දැම්මේ. එතකොට මාධ්‍යය හෝ නිදහස් අදහස් දරන අයට තර්ජනය කරලා හෝ අතුරුදන් කිරීම්, එහෙම නැත්නම් පවුල සනුහරයම සංවර්ධනය කරන වැඩ. කවුරුහරි නොගැළපෙන දෙයක් කළොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා විනා ඔවුන් රකින වැඩ හෝ හැම ව්‍යාපෘතියෙන්ම 5%, 10% කොමිස් ගන්න වැඩ. මන්ත්‍රිවරු සල්ලිවලට එහාට මෙහාට පන්නන වැඩ. උද්ඝෝෂණවලට පහර දෙන වැඩ අපි කරන්නේ නැහැ.

ඔබ ඔය කියන කාරණා ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් සුබවාදී විය හැකියි. නමුත් සංවර්ධනය ජනතාවගේ ආර්ථිකය පැත්තෙන් අද රට ලොකු අවුලක නේද?

නැහැ. දිගුකාලීන සංවර්ධන වැඩපිළිවෙළ අතරමඟ නතර වෙච්ච ඒවා අපි පටන් ගත්තා සාධනීය ලෙස. මහින්ද රාජපක්‍ෂ පැවරූ සමහර ඒවා අපි නැවත පවරාගෙන ඒවා දිගුකාලීන බදු ක්‍රමවලට යටත් කරලා ජනතාව වෙනුවෙන් උපරිම ලාභ දෙන වැඩ අපි කරනවා. මහ දැවැන්ත ණය කන්දක හිර වෙලා තිබ්බ රට මුදා ගැනීමේ යාන්ත්‍රණයක අපි වැඩ කරනවා.

නව වැඩ රාශියක් අපි කරලා තියෙනවා. කරමින් පවතිනවා. රැකියා ඇති කිරීම, කොළඹ මාර්ග තදබදය නැති කිරීම, ඇතුළු කාරණා කොච්චර තියෙනවාද?

එකම දේ ඔබ කියූ අර කයිවාරු, පුරසාරම් ගහනවා නෙවේ. අපිට තියෙන චෝදනාව තමයි අපි වැඩ කිරීම. ඔය චෝදනා පදනම් විරහිත ශුද්ධ වූ බොරු.

ආණ්ඩුව දැන් පවතින්නේ දෙමළ ජාතික සන්ධානය අතේ නේද?

නැහැ. ආණ්ඩුව තියෙන්නේ ජනතාවගේ අතේ. මේ රටේ කෝටි දෙකකට වැඩි ජනතාවක් අතේ ආණ්ඩුව තියෙන්නේ. මේක ජනතාවාදී ආණ්ඩුවක්.

කෙසේ වුවත් 113 නැතිව පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරගන්න බැහැ. ඉතින් ටී.එන්.ඒ. නැතිව කොහොමද ආණ්ඩුව ඉදිරියට යන්නේ?

කොහොමත් නෑ. එය ශුද්ධ වූ බොරු. තියන්න ඡන්ද.

ඔබලාට බහුතරය නොමැති බව ඔක්තෝබර් 26දා සිද්ධියෙනුත් ඔප්පු කළානේ ඇමැතිතුමා?

ඔක්තෝබර් 26දායින් පස්සේ කාලය තුළ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයට එරෙහිව ගිය ක්‍රමයකට විරුද්ධ සියලු බලවේග එකතු වුණා. ඉතින් එතැනදී ටී.එන්.ඒ., ජේ.වී.පී. ඔක්කොම එකතු වුණා. කොටින්ම ශ්‍රී ල.නි.ප.යත් එකතු වුණා. ඒ නිසා ඒකෙදී හුදෙකලාව සලකන්න එපා ටී.එන්.ඒ. එකත් එක්ක විතරක්. ඒ ඔක්තෝබර් 26දා ගත්ත ක්‍රියාමාර්ගයකට එරෙහිව බලවේගවල ඒකරාශී වීමක්. හැබැයි ඒක සදාකාලික සත්‍යයක් වෙන්නේ නැහැ.

නමුත් හිටපු ජනාධිපතිවරයා සෘජුවම චෝදනා කරනවා මේක රනිල් – සුමන්තිරන් ආණ්ඩුවක් බව?

ආ.. ඉතින් මහින්ද රාජපක්‍ෂ මහතා බලය ගැනීම වෙනුවෙන් එහෙම කියනවා. ඔහු එහෙම නොකිව්වොත් නේ පුදුම. මහින්ද රාජපක්‍ෂ මහත්තයාට කියන්න පුළුවන්ද රනිල් – මහින්ද සම්බන්ධයක් කියලා. හැබැයි අපි නම් එකපාරක් එහෙම කිව්වා සිරිකොත ඉස්සරහා පාර කාපට් කරද්දී. හැබැයි ඒ වෙලාවේ කුමාරසිරි හෙට්ටිගේ මහත්තයා මට කිව්වා ඔව්, ඔව්, ඉතින් අපි පොඩ්ඩක් කාපට් කරලා පොඩි සපෝර්ට් එකක් දුන්න තමයි කියලා.
රට බෙදා වෙන් කිරීමට හදන ව්‍යවස්ථාවක් ගැන ප්‍රබල ආන්දෝලනයක් රට තුළ මතු වෙලා. ඇයි මෙවැනි බරපතළ මතවලට කවුරුත් නිහඬ?

පළමු කාරණය තවම ව්‍යවස්ථාවක් නැහැ. ව්‍යවස්ථාවක් එන්න කෙටුම්පතක් එන්න එපැයි. පළමු වර කියැවීම, දෙවැනි වර කියවීම, තුන්වැනි වර කියැවීම හරහා පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න එපැයි. එහෙම දෙයක් නැහැ. දැන් මේ එක එක අදහස් ඉදිරිපත් වෙලා තියෙනවා. මගෙන් ප්‍රශ්න අහන ඔබ ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයට ගිහින් දිස්ත්‍රික්කයේ නම කියලා මට මේ ව්‍යවස්ථාව තුළ මගේ දිස්ත්‍රික්ක වෙනම රාජ්‍යයක් ඕනෑ කියලා ඔබ අදහසක් දුන්නොත් ඔබේ අදහස එහි ලියැවෙනවා.

එහෙම ලිව්වට පස්සේ මම ගිහිල්ලා කිව්වොත් මෙන්න නෝනා කෙනෙක් වෙනම රාජ්‍යයක් ඉල්ලලා තියෙනවා. එහෙම කරන්න පුළුවන්ද කියලා කෑ ගැහුවොත් රෝම කෙළින් කරගෙන වැඩක් තියෙනවද? ඒ වගේ කතාවක් මේ. අන්න ඒ වගේ වාක්‍ය ටිකක් අල්ලාගෙන බයිලා ගහනවා.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට අදාළ ජ.වි.පෙ. ඉදිරිපත් කළ 20 ව්‍යවස්ථා සංශෝධනයට ඔබලා සහාය දෙනවාද?

එ.ජා.ප.ය මේ ගැන පාර්ලිමේන්තුවේ දින යෙදුණම කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්ව තීරණය ගන්නවා. සමහරු කියනවා පක්‍ෂයේ තීරණය මේක වුණාට මගේ තීරණය මේකයි කියලා. එහෙම නොවෙන්නේ වමේ දේශපාලන පක්‍ෂවල විතරයි. මම නම් හිතන්නේ එවැනි තීරණ දෙකක් තියෙන්න බෑ. තීරණ දෙකක් බෑ ඒක වැරැදියි.

සංවාදය – අනුරාධා හේරත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here