සජිත් ප්‍රේමදාසත් මායිම් නොකරන රංජා ගේ අත්තනෝමතික බව නිසා චිත්‍රපට සංස්ථා සභාපති ඉල්ලා අස්වෙයි…

0
220

ශ්‍රී ලංකාවේ සංස්ථා-මණ්ඩල ඉතිහාසයේ ඉතාම කෙටිකලක් සභාපති පුටුවේ සිටි පුද්ගලයා ලෙස වාර්තාවක් තබමින් රාජ්‍ය චිත්‍රපට සංස්ථා සභාපතිවරයා ඉල්ලා අස්වී ඇත.

නොබෝදා අවසන්වරට රාජ්‍ය චිත්‍රපට සංස්ථාවට පත් කළ සභාපතිවරයා වූයේ සුනිල් එස්. සිරිසේන මහතා ය. ඔහු කෘතහස්ත රාජ්‍ය නිලධාරියෙක් ලෙස අවිවාවිදිත ය. එහෙත් රංජන් රාමනායක දේශපාලකයාගේ අත්තනෝමතික ත්‍රියා සහ පරිපාලනයට ඇති කරනු ලබන පීඩා හේතුවෙන් පසුගිය බදාදා චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා තම ඉල්ලා අස්වීම බාරදී ඇතැයි වාර්තාවෙයි. ඒ අනුව, ඔහුගේ සේවා කාලය වැඩකරන දින තුන (3) කට සීමා වන බව අපගේ ආරංචි මාර්ග කියයි.

අමාත්‍ය මණ්ඩලයේ නව පත්කිරීම් සහ විශයයන් ගැසට්කිරීම්වලට අනුව චිත්‍රපට සංස්ථාව අයත්වන්නේ නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට ය. එහි අධිකාරී බලය හිමිවන්නේ සජිත් ප්‍රේමදාස ඇමතිවරයාට ය. එහෙත් මේ වනවිට රංජන් රාමනායක මන්ත්‍රීවරයා මේ ආයතනයට දැඩිව සිදුකරන බලපෑම් හේතුවෙන් එහි කටයුතු අඩාලවී ඇතිබවත්, විකෘති වී ඇති බවත් වාර්තාවෙයි.

විශේෂයෙන් රංජන් රාමනායක මහතාගේ හිතවතුන් සංස්ථාවේ වෙනත් තනතුරුවලට පත්කිරීම්වලට ද ඔබ්බවීමට ද දරන උත්සාහයන් ඇතැයි ද දැනගන්නට ලැබෙයි. තවද, රංජන් රාමනායක මහතාගේ සම්බන්ධතා ඇති ඊඒපී ආයතනය විසින් ගෙන්වන ලද චිත්‍රපට ද අදාල මණ්ඩලවල තිරගත කිරීමට ද ඔහු බලපෑම් කරමින් සිටින බවත් ප්‍රකට කරුණක්ව ඇත.

මෙහි අලුත්ම සිදුවීම නම්, ඊඒපී ආයතනය විසින් ආනයනය කරන ලද දමිළ සහ හින්දි චිත්‍රපට දෙකක් අතරින්, කිසිදු වගවිභාගයකින් තොරව ප්‍රදර්ශනයට මුදාහැර ඇති, දමිළ චිත්‍රපටය සම්බන්ධයෙන් ගැටලුවක් පැන නැගී තිබීමයි. ඔක්තෝබර් 26 බල පෙරළිය අතරතුර දී මේ දමිළ චිත්‍රපටයේ ම හින්දි පිටපත වාරණයට ලක්වී ඇත. එහෙත් දමිළ පිටපත පෙර සඳහන් කළ පරිදි වග විභාගයකින් තොරව ප්‍රදර්ශනයට මුදාහැර ඇත. එය චිත්‍රපට සංස්ථාවේ රෙගුලාසිවලට අනුව නීති විරෝධී මුදාහැරීමකි. එබැවින්, එය වරදක් ලෙස දුටු සංස්ථාව මේ ප්‍රදර්ශිත පිටපත් අල්ලා පරීක්ෂණයකට ලක් කොට ලක්ෂ පහ (5) ක දඩයක් නියමකර තිබේ.

කෙසේ වෙතත්, මහින්ද රාජපක්ෂ අගමැති වූ බල පෙරළිය කාල සීමාවේ දී ම සභාපති පුව හිස්ව, මෙය ඇදී ගිය ප්‍රශ්නයක්ව තිබී, නව සභාපති ලෙස සුනිල් එස්. සිරිසේන පත් වූ පසුව, ඊඒපී බලධාරීන් ඔහු සමඟ සාකච්ඡාවකට පැමිණ, මේ දඩය මෙන්ම චිත්‍රපටය රඳවා ගැනීම නිදහස් කරන ලෙස ඉල්ලා ඇත. එහෙත් එයට නව සභාපතිවරයා එකඟ වී නැත. ඒ වනවිට චිත්‍රපට සංස්ථාවේ නීති නිලධාරියා ද මේ සම්බන්ධයෙන් ලිඛිත සටහනක් යොදා තිබීම ද තත්ත්වය බරපතල තත්ත්වයකට පත් කොට තිබුණි.

එහෙත් මේ පිළිබඳව ඊඒපී බලධාරීන් හා සංස්ථාවේ නියෝජිතයින් අතර සාකච්ඡාව අවසන්වත්ම රංජන් රාමනායක විසින් සංස්ථා සභාපතිවරයාට තර්ජනය කරඇති බව විශ්වාසකටයුතු ආරංචිමාර්ග කියයි.

එමෙන්ම, ඊඒපී මණ්ඩලයේ මෑතකදී ප්‍රදර්ශනය වූ ‘අලුත් ඉස්කෝලේ’ චිත්‍රපටය ද ඉතා ඉක්මනින් ඒ සිනමාහල්වලින් ගලවා ඉවත් කිරීමට ද රංජන් රාමනායක මැදිහත්ව අත. රංජන් රාමනායකගේ කසිකබල් චිත්‍රපටයක් වූ ‘පාර්ලිමන්ට් ජෝක්ස්’ ඩිජිටල් පිටපත නමින් එකක් රැගෙනවිත් ‘අලුත් ඉස්කෝලේ’ ගලවා දැමීම ඉක්මන් කර ඇති බවද දැනගන්නට තිබේ. ඇතැම් සිනමා ශාලා හිමියන්ට ද තර්ජනය කර ‘අලුත් ඉස්කෝලේ’ දර්ශනවාර අත්හිටුවීමට ද කටයුතු කරඇතැයි ද කියති. එයට ද සුනිල් එස්. සිරිසේන නව සභාපතිවරයා විරුද්ධවී ඇත.

කෙසේ වෙතත්, සජිත් ප්‍රේමදාස ඇමතිවරයාට උඩින් යමින් හා ඔහු යටකරගනිමින් කටයුතු කිරීමට රංජන් රාමනායක සමත්ව සිටින බව නම් පැහැදිලිය. ඒ අනුව රංජන් රාමනායකගේ තවත් හිතවතෙක් වන මොහාන් හෙට්ටිආරච්චි චිත්‍රපට සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂධුරයට පත් කිරීමට ද රංජන් පියවරගනිමින් සිටියි. මේ වනවිට ඔහුගේ නම ඒ තනතුරට යෝජනාවී ඇත.

මොහාන් හෙට්ටිආරච්චි ද චිත්‍රපටයක් නිපදවා ප්‍රදර්ශනයට අනුමැතිය හිමිකරගැනීමට මාන බලමින් සිටියි. එහි නම ‘රහයි ජීවිතේ’ ය. එය මණ්ඩල හතරේ (4) ම ප්‍රතික්ෂේප වී ඇති චිත්‍රපටයකි. සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක් පුටුවට පත්වූ පසුව, ප්‍රතික්ෂේප කරඇති තමන්ගේ චිත්‍රපටය මුදාගැනීම ද ඔහුගේ අභිප්‍රාය විය හැකිය. මේ චිත්‍රටය හමුවේ ඇති වූ තත්ත්වය ද අනෙක් සිදුවීම් ද අරබයා ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයන් හමුවේ නව සභාපතිවරයාට සේවය කිරීමට නොහැකි පසුබිමක් නිර්මාණය වී ඔහු ඉවත්ව යාම තීරණය කර තිබේ. ඒ අනුව පසුගිය බදාදා සුනිල් එස්. සිරිසේන චිත්‍රපට සංස්ථාවෙන් ඉල්ලා අස්වීම බලධාරීන්ට යොමුකර තිබිණි.

මාධ්‍ය හමුවේ, වීරයෙක් වන රංජන් රාමනායකගේ අත්තනෝමතික මැදිහත්වීම් සහ රටක පාලනයට වරම් යදින සජිත් ප්‍රේමදාසගේ කුලෑටි හා බියගුළු ස්වභාවයන් මේ සිදුවීම්වලන් මනාව කැපී පෙනෙන්නේ යැයි චිත්‍රපට සංස්ථාව තුල සහ අදාළ ක්ෂේත්‍රයේ කතාබහට ලක්වෙමින් තිබීම ද විශේෂත්වයකි.

කෙසේ වෙතත්, සුනිල් එස්. සිරිසේන වැනි පළපුරුදු පරිපාලන නිලදරුවෙක්ගේ සේවය චිත්‍රපට සංස්ථාවට අහිමිවීම කනගාටුවට කරුණකි.

# සටහන ; අකලූෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here