අක්මීමන පියා පාසැලතුලදී ඝාතනයටලක්වීමේ වගකීම රජය භාරගත යුතුයි…

0
327

ගාල්ල අක්මීමන ප්‍රදේශයේ පාසලකට ඇතුළු වු තිදරු පියෙකුට ආරක්ෂක නිලධාරියා විසින් එල්ල කළ වෙඩි පහරින් මිය යෑමේ සිදුවීමේ වගකීම රජය විසින් භාරගත යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ පවසයි.

අද (05) පැවති මාධ්‍ය හමුවකදී සිය අදහස් පල කරමින් ඒ මහතා මෙම අදහස් පල කළේය.

“ගාල්ලේ සිද්ධියේ පියාගේ අභාවය සම්බන්ධයෙන් වගකීම රජය භාරගත යුතුයි.

රටේ ජාතික ආරක්ෂාව කඩාවැටීම නිසයි පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල වුණේ.

ඒ ප්‍රහාරය සම්බන්ධයෙන් සහ එවැනි ප්‍රහාරයක් නැවත ඇති නොවීම සම්බන්ධයෙන් රජයපියවර නොගැනීම නිසා වසර දහයකට පසුව නැවත දෙමව්පියන්ට පාසල් වල මුර සේවයට යන්න සිද්ධ වුණා.

මේ මරණයත් රජයේ වගකීමක්.

රජයේ නොහැකියාව, ජාතික ආරක්ෂාව නොසලකා හැරීම පුරවැසියා ගේ ජීවිත වලට වටිනාකමක් ලබා නොදීම නිසා සිදු වූ මරණයක් විදියටයි අපි මේ මරණය දකින්නේ.

අපේ රජය සමයේ යම් යම් සිදුවීම් ඇති වුණා. එවකට විපක්ෂයේ සිටි මේ ආණ්ඩුව ඒ සියලූ සිදුවීම් වල වගකීම පැවරුවේ මහින්ද රාජපක්ෂ මහතාගේ නමටයි.

අපි මේ සිදුවීමේදී වගකිවයුතු විපක්ෂයක් විදිහට එවැනි තත්ත්වයට වැටෙන්න සූදානම් නැහැ.

නමුත් ආරක්ෂාව සම්බන්ධයෙන් උදාසීන පියවරක් ගෙනයාම නිසා ඒ මරණයේ වගකීම ආණ්ඩුව බාරගත යුතුයි.” යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළ සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here