ඉස්ලාම් අන්තවාදය පරාජයකරමින් උතුර-නැගෙනහිර සංවර්ධනය දමිළ ප්‍රජාවේ වගකීමයි : එම්. දේවරාජා

0
109

ජාත්‍යන්තර දමිළ ඩයස්පෝරාවේ හා රටින් පිටත ඊළාම් රාජ්‍ය සංකල්පයේ දීර්ඝකාලීන නිත්‍ය නියෝජිතයින්ගේ අදහස් හා මතවාද සීඝ්‍රයෙන් වෙනස්වෙමින් පවතින බව පසුගිය දා වාර්තාවුණි. ඒ අනුව එහි සාධනීය ලක්ෂණ ශ්‍රි ලංකාවේ දේශපාලනයට දායකකරගත හැකි පසුබිමක් ද නිර්මාණය වී තිබෙන බව දැකගන්නට හැකි ය. මෙහි අලුත් ම තත්ත්වය ලෙස වාර්තා කළ හැක්කේ, මේ වන විට රටින් පිටත සිටින ඊළාම්වාදීන්ගේ අති බහුතරයක්, ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට දායකවීමට දැඩි කැමැත්තක් දක්වමින් නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගාගනිමින් සිටින බවයි.

විශේෂයෙන් ම මේ පිරිසේ අදහස්වල විප්ලවීය වෙනසක් ඇතිවීම සැලකිය යුතු ය. එනම් ඔවුන්ගෙන් බහුතරය දැන් දැන් ශ්‍රී ලංකා රජයට හෝ රට පාලනය කළ විවිධ පාර්ශව හෝ හෙළා දකිමින් විදෙස් රටවල කරන උද්ඝෝෂණ පවා වර්ජනය කරන ආස්ථානයකට පැමිණ සිටිති.

මේ වෙනස සම්බන්ධයෙන් විමසීමට emedia.lk හි අපි ගත් උත්සාහයක දී, මේ කණ්ඩායම නියෝජනය කරන න්‍යායවාදියෙක් සේ ම, රටින් පිටත ඊළාම් රාජ්‍ය සංකල්පයේ මන්ත්‍රීවරයෙක් ව සිටි මාර්කණ්ඩු දේවරාජා පැවැසූවේ, තමන් විසින් ඇති කළ මේ ව්‍යාපාරය දැන් සිදු කළ යුත්තේ, ශ්‍රී ලංකාවේ සංවර්ධනයට හා සාමයට දායකවෙමින් හා සාමය ඇතිකරගනිමින් කටයුතු කළ යුතු බවයි. දේවරාජා මහතා යුරෝපයේ සිට දීර්ඝකාලයක් තිස්සේ මෙම දේශපාලනයේ නියැළෙමින් TGTE සංවිධාන ජාලය ශක්තිමත් කළ අයෙක් වීම ද විශේෂත්වයකි.

පසුගියදා ඇති වූ පාස්කුදින ඉස්ලාම් අන්තවාදී ප්‍රහාරමාලාව ද ඔහු විසින් දැඩි පිළිකුළෙන් යුතුව හෙළාදැකීම ද, නැගෙනහිර පළාතේ ඉස්ලාම් ව්‍යාප්තකරණය පිටුදැකීම ද ඉහළින් අගයකළ යුතු මට්ටමක පවතී.

දීර්ඝකාලයක සිට ශ්‍රී ලංකාවේ උතුරේ සහ නැගෙනහිර සිදුවෙමින් පැවැති ඉස්ලාම් අන්තවාදී ව්‍යාප්තකරණය හා බලහත්කාරකම් ගැන විශේෂයෙන් ම දේවරාජා මහතා ඇතුළු රටවල් ගණනාවක වෙසෙන දමිළ ඩයස්පෝරා නියෝජිතයින් විසින්, කරුණු දක්වා තිබුණි. ශ්‍රී ලංකාවේ ඇතැම් ආරක්ෂක අංශ මූලාශ්‍රයන් සත්‍යය වටහාගන්නට මත්තෙන් තමන් විසින් මේ අනතුර පිළිබඳව මුලින් ම කරුණු පැහැදිලිකර ඇති බව දේවරාජා මහතා, සාක්ෂි සාධක සහිතව අප ට පැහැදිලි කළේ ය.

කෙසේ වෙතත්, මේ දේශපාලනික අහස් දරන කණ්ඩායමේ මූලික අරමුණ ලෙස මේ මොහොතේ ඉහළින් ම ඇත්තේ ශ්‍රී ලංකාවේ පවතින රජයයන් සමග අවබෝධයක් ගොඩනගාගැනීමත් ඒ අනුව උතුර සහ නැගෙනහිර සංවර්ධනයට ඒ මගින් මාවත විවරකිරීමත් බව ඔවුහු දැඩිව පවසති.

දේශපාලන පක්ෂයක් හෝ සංවිධායක් මාර්ගයෙන් ඉදිරියේ ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මාවත තුල කටයුතු තිරීමට ඔවුන් සූදානම් බවට ද ඉගි පළවෙමින් ඇති බව අප කළ සාකච්ඡාවේදී අවබෝධ වී ය. ඒ වෙනුවෙන් ඔවුන් පළමුවෙන් ම ඊළාම් සංකල්පය යටතේ වූ දේශපාලන ව්‍යාපාරයක් සක්‍රීය කරගැනීමට සූදානම් බව ප්‍රකාශ වුවත්, ඊට පරිබාහිරව සහයෝගීතාවයෙන් යුතුව කටයුතු කරමින්, ඉස්ලාම් අන්තවාදය පරාජ කිරීමටත් උතුරු නැගෙනහිර සංවර්ධනයට දායකවීමටත් තමන් සූදානම් බව පැවැසී ය.

සටහන : ජනිත් විපුලගුණ
[email protected]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here