පාස්කු දින බෝම්බ සොයන තේරීම් කාරකසභාව හමුවට හරීන්ගේ තාත්තා කැන්දන්න…

0
839

යහපාලන රජයේ අමාත්‍යවරයෙක් වන හරීන් ප්‍රනාන්දුගේ පියා, වත්මන් පාර්ලිමේන්තුවේ ස්ථාපිත කර ඇති, ආන්දෝලනාත්මක පාර්ලිමේන්තු තේරීම් කාරකසභාව හමුව ට ගෙන්වා ප්‍රශ්න කළ යුතු පුද්ගලයෙක් වන බව අපගේ විශ්වාසයයි.

පාස්කු දින ප්‍රහාරයන් කිතුණු දේවස්ථාන ඉලක්ක කරගෙන සිදුවන බවට ඊට පෙර දිනයක දී ස්ථිරව ම ප්‍රකාශ කළ සිවිල් වැසියෙක් ලෙස ඔහු හඳුනාගැනීමට ප්‍රමාණවත් සාක්ෂි මේ වනවිටත් ප්‍රකාශ වී තිබීම එම කැඳවීම ට ඇති උචිත බව තවත් සනාත කරයි.

පාස්කු ප්‍රහාරයෙන් පසුව මාධ්‍ය හමුවක් ඇමතූ හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා කියා සිටියේ, පාස්කු දින දේව මෙහෙයන් පැවැත්වෙන දේවස්ථාන ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ලවන බවට, තම පියාට තොරතුරු ලැබී ඇති බැව් තම පියා පැවැසූ බවයි. ඒ පමණක් නොව එදින (2019 අප්‍රේල් 21 වන දින) පල්ලි නොයන ලෙස ද තම පියා තමන්ට අවවාද කළැයි ඔහු ප්‍රසිද්ධියේ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ ය. මේ ප්‍රකාශය බරපතල හෙළිදරව්වක් බව පැහැදිලි ය.

රජයේ ආරක්ෂක අංශ සහ ප්‍රධාන වශයෙන් රටේ විපක්ෂ නායකවරයාවත් නොදැන සිටි කරුණක්, හරීන් ප්‍රනාන්දුගේ පියා දැන සිටියේ කෙසේ ද හා ඔහුට ඒ තොරතුරු ලබා දුන්නේ කවුරුන්ද යන වග අනාවරණය කරගැනීමට තවමත් හැකියාව පවතී. එසේ තිබිය දී, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විගඩමක් බවට පත්කරගැනීම රටේ පොදු දේපල අවභාවිත කිරීමක් ලෙස ද හැඳින්විය හැකි ය.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඇමතිවරයාගේ ද අනුදැනුම ඇතිව ප්‍රකාශයට පත්කළ, රජයේ නිලධාරීන්ගේ නිලධාරිනියන්ගේ ඇඳුම් සම්බන්ධ චක්‍රලේඛයක් පිළිබඳව ප්‍රශ්නකිරීම වැනි විහිළු සහගත තැනකට, පාස්කු දින බෝම්බ පිපිරීම සම්බන්ධ විමර්ශනය ට පත්කළ, පාර්ලිමේන්තු තේරීම්කාරකසභාවක් ඇද දමා තිබීම ද කනගාටුදායක ය.

කෙසේ වෙතත්, පාස්කු දින ප්‍රහාරයක් එල්ලවන බවට තමන්ට ඍජුව ම හා ස්ථිර ලෙස ම ප්‍රකාශ කළ පුද්ගලයා වූයේ තම පියා බව වාර ගණනාවක දී ප්‍රසිද්ධියේ පිළිගත් හරීන් ප්‍රනාන්දු සහ ඔහුට තොරතුර ලබාදුන් ඔහුගේ පියා ගෙන් ම තවත් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට හැකිවනු ඇතැයි අපි විශ්වාස කරමු. මෙහිදී වඩාත් වැදගත් වන්නේ හරීන් ප්‍රනාන්දු ඇමතිවරයාගේ පියා ට ඒ තොරතුරු නිශ්චිතව ම ලබාදුන් පුද්ගලයා හරහා වැදගත් මූලාශ්‍ර රැසක් අනාවරණය කරගැනීමට හැකිවීම බව ද පැහැදිලි ය.

ඒ අනුව හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා මෙන් ම ඔහුගේ පියා ද තේරීම් කාරකසභාව හමුව ට කැඳවිය යුතු ය. ඉන් අනුතුරුව, ඔහුගේ පියා ට තොරතුරු ලබා දුන් පුද්ගලයා හෝ කණ්ඩායම ද, ඒ ඔස්සේ තවත් වැදගත් තොරුතුරු රැසක් ද අනාවරණය කරගැනීමට මං පාදාගත යුතු ය. මහජන මුදල් වැය කරමින් තේරීම් කාරකසභාවක් ද පවත්වාගෙනයමින් සිදුකරන කාර්යය, විගඩමක් බව ට පත් නොවීම ට අවශ්‍ය පියවර ගැනීමට මේ මගින් හැකිවනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here