දොස්තර ෂාෆිට එරෙහි නීතිය කුමක්ද?

0
90

පසුගිය දෙසතිය තුළ වැඩි වශයෙන් අවධානයට ලක්වූයේ පාස්කු ඉරිදා ප්‍රහාරයට සෘජු සම්බන්ධයක් නොමැති වුවද මව්වරුන් වඳභාවයට පත් කිරීමේ චෝදනාවට ලක් වූ කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයකු සම්බන්ධ ක්‍රියාකලාපයයි.

වෛද්‍ය වෘත්තිය යනු අප සමාජයේ ඉහළම ගෞරවයට පාත්‍ර වූ වෘත්තියක් වන අතර රෝගීන් බොහෝ විට තමන් ප්‍රතිකාර ලබා ගන්නා වෛද්‍යවරයා සලකන්නේ මිහිපිට දෙවිවරුන් සේය. එවැනි තත්ත්වයක් තුළ වෛද්‍යවරයකුට මෙවැනි චෝදනා එල්ල වීම ආචාරධාර්මිකව ඉතා බරපතළ තත්ත්වයකි.

වෛද්‍යවරුන්ගේ ආචාර ධර්මපද්ධතිවලට ඇතුළත් හිපොක්‍රටිස් දිවුරුම ලබාදී වෛද්‍ය වෘත්තියට එළඹෙන වෛද්‍යවරුන් රෝගීන්ගේ අනුදැනුම හා අනුමැතිය ඇතුව ප්‍රතිකාර කළ යුතුය යන මූලික සංකල්පය වෘත්තිකයන් ලෙසට පිළිගනු ලබයි. ප්‍රස්තුත වෛද්‍යවරයාට එල්ල වී ඇත්තේ සිසේරියන් සැත්කම අතරතුර මව්වරුන්ගේ අනු දැනුමකින් තොරව වඳභාවයට පත් කළේය යන චෝදනාවය. එය සත්‍ය නම් එය වෛද්‍ය විද්‍යාවේ පිළිගත් ආචාරධර්මයන්ට මෙන්ම මනුෂ්‍යත්වයට නොගැළපෙන ක්‍රියාවකි.

නීතියට අනුව බලන විට මෙවැනි වරදක් අපරාධමය වරදකි. දණ්ඩ නීති සංග්‍රහයේ 306 වගන්තිය මගින් ඒ බව දක්වා ඇත.
දරුවෙක් ඉපදීමට පෙර එම දරුවා පණ ඇතිව ඉපදීම වැළැක්වීමේ අදහසින් යමෙකු යම් ක්‍රියාවක් සිදුකරනු ලැබුව හොත් එය වරදක් බව එමගින් දක්වා ඇති අතර එය වසර 10ක කාලයක් බන්ධනාගාර ගත කිරීමකට හෝ දඩයකට නැතිනම් එම දණ්ඩන දෙකටම ලක් කළ හැකි වරදක් බව දක්වා ඇත. චූදිත වෛද්‍යවරයා චේතනාන්විතව මව්වරුන්ගේ පැලෝපීය නාළයන් අවහිර කරන ලද්දේ නම් එසේ කිරීම නිසා දරු උපත් සිදු නොවේ නම් හා එසේ කිරීමේ අරමුණද දරු උපත් සිදුවීම වැළැක්වීම නැතහොත් කලලයක් පිළිසිඳගැනීම වැළැක්වීම වන බව මෙහිදී ඔප්පු කිරීම මෙහිදී වැදගත් වේ.

දණ්ඩ නීති සංග්‍රහයේ 311 වගන්තිය දෙස බැලීමේදී එහි දක්වා ඇත්තේ බරපතළ තුවාල සිදුකිරීම පිළිබඳ නීතිමය තත්ත්වයයි. මෙහිදී බරපතළ තුවාල යනු මොනවාද යනුවෙන් වෙන්කිරීමක් ඇත. 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන පනතට පෙර පුරුෂ ශක්තිය නැතිකිරීම බරපතළ වරදක් ලෙසට දක්වා තිබූ අතර එහෙත් එම සංශෝධනයෙන් පසුව එම වරද වඩා පුළුල්ව දක්වා ඇත්තේ අපෞරුෂායනය (emasculation) යනුවෙනි. මෙහිදී අපෞරුෂායනය යන්න යම් දෙයක පවතින ප්‍රබලතාවය හීන කිරීම ලෙසට (to reduce the existing power of anything) විග්‍රහ කළ හැකි අතර එහිදී ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව වඳ භාවයට පත් කිරීම යන කරුණු අදාළ කරගත හැකි බව පෙනී යයි.

මීට අමතරව 311 වගන්තියේම යම් අවයවයක් හෝ ග්‍රන්ථියක් විනාශ කිරීම යන කරුණුද බරපතළ තුවාල සිදු කිරීමක් ලෙසට දක්වා ඇති අතර ඒ අනුව බැලූ විටද ඉහත චෝදනාවන් ඔප්පු කිරීමට හැක්කේ නම් එය බරපතළ තුවාල සිදුකිරීමක් වන අතර දණ්ඩ නීති සංග්‍රහයේ 316 වගන්තිය යටතේ වසර 7ක කාලයක් දක්වා බන්ධනාගාර ගතකිරීමක් හා දඩයකින් දඬුවම් කළ හැකි වදරක් ලෙසට දක්වා ඇත.

රජයේ සේවකයකු ලෙසට රජයේ රෝහලක රාජකාරි කරමින් එම රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි මව්වරුන් චේතනාන්විතව වඳ භාවයට පත් කිරීමක් සිදු කළේ නම් එය කෲර හා අමානුෂික සැලකීමක් වශයෙන් සලකා එම මව්වරුන්ට අදාළ වෛද්‍යවරයාට විරුද්ධව මූලික අයිතිවාසිකම් නඩුකරයක්ද ශ්‍රේෂ්ඨාධිකරණයේ පුද්ගලිකව පැවරිය හැකි බවද මෙහිදී සිහිපත් කළ යුතුය.

ඉහත දක්වන ලද අපරාධ චෝදනාවලට අතිරේකව නොසැලකිල්ල (neligence) සම්බන්ධයෙන් දිසා අධිකරණයේ සිවිල් නඩුකරයක් පැවරීමේ හැකියාවක්ද තිබේ. අදාළ වෛද්‍යවරයාගේ නොසැලකිලිමත් භාවය නිසා පැලෝපීය නාළයන්ට හානිවීමෙන් ඉදිරි දරු උපත් වැළකුණේ යැයි ඔප්පු කළ හැක්කේනම් ඒ සම්බන්ධයෙන් එම වෛද්‍යවරයාගෙන් පුද්ගලිකව වන්දි ලබා ගැනීමේ හැකියාවක්ද පවතී.

ජාත්‍යන්තර නීතියේ භාවිතාව දෙස බැලීමේදී මෙම වෛද්‍යවරයාගේ ක්‍රියාකලාපය කිසියම් ජාතියක් ජනවර්ගයක් අරමුණු කරගෙන විශේෂයෙන් සිදුකළ අපරාධමය වරදක් වශයෙන් ඔප්පු කිරීම් හැකියාව තිබේ නම් එය වර්ග සංහාරයක් (genocide) ලෙස අර්ථ දැක්වෙන බව සඳහන් කළ යුතුය. විශේෂයෙන්ම මෙවැනි අපරාධ ජාත්‍යන්තර නීතියේ හඳුන්වනු ලබනුයේ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ (crime against humanity) ලෙසිනි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1948 සම්මත කරගත් අපරාධ සංහාර වැළැක්වීම හා දඬුවම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (convention on the prevention and punishment of the crime genocide) අනුව ජන සංහාරය යන්න මනුෂ්‍යත්වයට එරෙහි වරදක් ලෙසට දක්වා ඇත. අප රටද මෙම සම්මුතිය පිළිගෙන ඇත.

(acceded) එහි දෙවන වගන්තිය මගින් දක්වා ඇත්තේ යම් ක්‍රියාවක් කිසියම් ජාතියක්, ජනවර්ගයක්, හෝ ආගමික කොටසක් වැනි ජන සමූහයක් විනාශ කිරී‍මේ අරමුණින් හෝ ජනවර්ගයකට මානසික හානි සිදුකිරීම, ශාරීරික වශයෙන් දුබලතාවට පත්කිරීම, උපත් පාලනය කිරීම යන්න වර්ග සංහාරය යන වරද ඇතුළත් වන බවයි.

ඒ අනුව අදාළ වෛද්‍යවරයා නිශ්චිත ජනවර්ගයක් ඉලක්ක කොට මෙම ක්‍රියාව සිදු කළේ නම් එය ඔහු ජාත්‍යන්තර නීතිය ඉදිරියට ගෙන යා හැකි අවස්ථාවක් බව සිහිපත් කළ යුතු වේ. මෙවැනි ක්‍රියාවන් සම්බන්ධයෙන් පළමු වරට වර්ග සංහාරකයකුට එරෙහිව තීන්දුවක් නියමකරනු ලැබුවේ රුවන්ඩාවේදීය.

1994දී රුවන්ඩාවේ සිදුවූ වර්ග සංහාරය පිළිබඳ චෝදනා ලැබූ අකයේසු නම් නගරාධිපතිවරයා වරදකරු කරමින් ජීවිතාන්තය දක්වා සිරදඬුවමට ලක් කිරීමට රුවන්ඩා අධිකරණ පර්ෂදය කටයුතු කරනු ලැබූ බව අකයේසු නඩු තීන්දුවේ (prosecutor Vs Jean paul Akayesu) දක්වා ඇත.

කෙසේ වෙතත් 1998 න් පසු ජාත්‍යන්තර අපරාධ අධිකරණය (International criminal court) පිහිටුවීමෙන් පසු වර්තමානය වන විට එම අධිකරණය වෙත මෙවැනි අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමේ හැකියාව ඇත. එම නිසා පුරවැසියන් ලෙසට අසාධාරණයට ලක් වූ මව්වරුන් වෙනුවෙන් එම වගකීම ඉටුකිරීමේ බැඳීම අප සැමට ඇත.

කනගාටුදායක තත්ත්වය වනුයේ පසුගිය මානුෂික මෙහෙයුම පැවැති අවධියේදී අපගේ ආරක්ෂක අංශ වෙත ද්වේශ සහගතව චෝදනා එල්ල කරමින් ජාත්‍යන්තර අධිකරණවල සහාය පැතීම අවශ්‍ය බවට මතවාද ගොඩ නගන ලද විදෙස් රටවල න්‍යාය පත්‍රයන්ට හා ඩොලර්වලට කටයුතු කරන මෙරට ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන හා සමාජ ක්‍රියාකාරකයින් මෙම සිදුවීම සම්බන්ධයෙන් මුනිවත රැකීමය.

නීතිඥ සමින්ද කෝණාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here