ලොව දරුණුම ත්‍රස්තවාදීන් පරාජයකිරීමට ඇමරිකාවේ රිපබ්ලිකන් පක්‍ෂ පාලනය අපිට ගොඩක් උදව් කරා…

0
701

2009 මැයි 19 වෙනිදා කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේ දස වෙනි සංවත්සරය නිමිත්තෙන් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පැවැත් වූ විශේෂ දේශනයේ පිටපත මෙහි දැක්වෙයි.

අතිපූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි, සියලු ආගම්වල පූජකතුමනි, ශ්‍රී ලංකාවාසී ජනතාවනි, හිතවතුනි,

මේ රටේ දශක හතරකට ආසන්න කාලයක් තිස්සේ පැවතුනු බෙදුම්වාදී ත්‍රස්තවාදය තීරණාත්මකව පරාජය කිරීමේ දසවෙනි සංවත්සරය අපි 2019 මැයි මස 19 වැනිදා සනිටුහන් කරනවා. 1970 ඉඳලා ඉතාමත්ම සුලුවෙන් ආධුනික විදියට ආරම්භ වෙච්ච ඒ බෙදුම්වාදී ප්‍රචන්ඩත්වය තුළින්  ලෝකයේ ප්‍රබලම ත්‍රස්තවාදී සංවිධානය බවට පත්වුණ කොටි සංවිධානය බිහිවුණා. මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය, මරාගෙන මැරෙන කුඩා බෝට්ටු හා රාත්‍රී කාලයේ කුඩා ගුවන් යානා භාවිතා කරමින් ඉලක්ක වලට පහර දීම වගේ ත්‍රස්තවාදී උපක්‍රම කොටි සංවිධානය තමයි ලෝකයට හඳුන්වල දුන්නෙ. නීත්‍යානුකූල මෙන්ම නීත්‍යානුකූල නොවන ක්‍රම වලින් මුදල් එකතු කිරීම පැත්තෙනුත් කොටි සංවිධානය හිටියේ ලෝකයේ අනිත් හැම ත්‍රස්තවාදී කණ්ඩායමකටම වඩා ඉදිරියෙන්. ආයුධ ගෙන්වීමට වෙනම නැව් ජාත්‍යන්තර මුහුදේ යොදවල තිබ්බ ලෝකයේ එකම ත්‍රස්තවාදී කණ්ඩායම තමයි කොටි සංවිධානය.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුව කොටි සංවිධානයට විරුද්ධව යුද්ධ කිරීමට ආයුධ ලබා ගත්තේ ණයට. නමුත් කොටි සංවිධානය ශ්‍රී ලංකා හමුදාවටත් ඉන්දියාවේ හමුදාවටත් විරුද්ධව සටන් කරන්න ජාත්‍යන්තර වෙළඳපොලෙන් ආයුධ ලබා ගත්තේ අත්පිට මුදලට. රටවල් දෙකක නායකයන් – ඒ කියන්නේ ඉන්දියාවේ රජීව් ගාන්ධි මැතිතුමත්, ලංකාවේ ප්‍රේමදාස ජනාධිපතිතුමාත් – මරාගෙන මැරෙන ප්‍රහාර වලින් ඝාතනය කරපු ලෝකයේ එකම ත්‍රස්තවාදී සංවිධානය කොටි සංවිධානයයි. 2008 ජනවාරියේදී ඇමරිකාවේ FBI ආයතනය ලෝකයේ තිබෙන දරුණුම ත්‍රස්තවාදි සංවිධානය හැටියට ඔවුන්ව නිල වශයෙන්ම ශ්‍රේණිගත කළේ ඔය කාරණා නිසයි. 2009 මැයි 19 වන දා පෙරවරුවේ වේලුපිල්ලේ ප්‍රභාකරන් මියගොස් ඇති බවට තහවුරු වීමත් එක්කම අවසන් වුනේ ඒ වගේ ත්‍රස්තවාදයක්.

මේක පහසුවෙන් ලබාගත්ත ජයග්‍රහණයක් නොවෙයි. ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලුන් 25,367 දෙනෙකු ඒ යුද්ධයේ දී ජීවිතක්ෂයට පත්වුණා. සාමාන්‍ය පොලිස් නිළධාරීන් සිය ගනනක්ද, සිංහල, දෙමළ, මුස්ලිම් සාමාන්‍ය පුරවැසියන් දහස්ගනනක්ද, දේශපාලන නායකයන් ගණනාවක්ද ඒ යුද්ධයෙන් ජීවිතක්‍ෂයට පත්වුණා. එයින් තුවාල ලැබූ ගණනත්, විනාශ වූ දේපල වල වටිනාකමත් මෙතෙකැයි කියන්න බැරි තරම්. කොටි ත්‍රස්තවාදයට විරුද්ධව අපි ගෙන ගිය ඒ සටන ජය ගත්තෙ ඇතැම්  රටවල් වලින් ඒ යුද්ධය නවත්වන්නය කියල කරපු බලපෑම් සියල්ල අපි කෙලින්ම ප්‍රතික්‍ෂේප කරපු  නිසයි.

ඇමරිකාවේ රිපබ්ලිකන් පක්‍ෂ පාලනය අපිට ගොඩක් උදව් කරා. 2006 දී යුරෝපා සංගමය ලවා කොටි සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් හැටියට නම් කරගන්න අපට පුලුවන් වුණේ ඇමරිකාවේ උදවු නිසා. 2007 කොටි සංවිධානයේ ආයුධ නැව් ඕස්ට්‍රේලියාවට හා ඉන්දුනීසියාවට සමීප ජාත්‍යන්තර මුහුදේදී අපට විනාශ කරන්න පුලුවන් වුණේ ඇමරිකාවෙන් දීපු නිශ්චිත තොරතුරක්  නිසා. නමුත් 2009 පෙබරවාරි මාසයේ ඉඳල ඇමරිකාවේ අලුත් ජනාධිපතිවරයෙක් පත්වුණා. එතකොට ඒගොල්ලන්ගෙ ආකල්පය වෙනස් වුණා.  නමුත් අපි ජාත්‍යන්තර බලපෑම් නොතකා යුද්ධය අවසන් කළා.

මෑත ලෝක ඉතිහාසයේ ත්‍රස්තවාදී ව්‍යාපාරයක් ඒ විදියට සහමුලින්ම විනාශ කරපු එකම රට ලංකාවයි. ඒ වගේ මහා විපතකින් ගොඩ ආවට පස්සෙ රටක් ඒ අතීතය අමතක කරල ඉදිරියට යන්න ඕන. නමුත් ලංකාවෙ යුද්ධය අවසන් වුණාට මේ රටට සාමය උදාවෙන්න සමහර ජාත්‍යන්තර මෙන්ම දේශීය බලවේග ඉඩ දුන්නෙ නැහැ. යුද්ධය අවසන් වෙච්ච දවසෙ ඉඳලම ඒ අය කළේ අතීතය කබල්ගාමින් ගැටුම කොහොම හරි පවත්වාගෙන යන එකයි. තමන්ගේ කීම අහන්නෙ නැතුව අපි යුද්ධය ඉවර කරාය කියන එක ඇතැම් අයට ප්‍රශ්නයක් වුණා. චීනය අපට උදවු කරනවාය කියන එකත් ඒ අයට ප්‍රශ්නයක් වුණා.

2015 ජනවාරි 09 වනදා මේ රටේ බලයට පත්වුණේ විදේශීය බලවතුන්ගෙ උවමනා එපාකම් ඉටුකරන ආණ්ඩුවක්. ඒ අයගේ න්‍යායපත්‍රය සකස් කරල තියෙන්නෙ මේ රටේ කොදු නාරටිය බිඳල ලංකාවට නැවත හිස ඔසවන්න බැරි විදියට කටයුතු සලස්වන්නයි. යහපාලන ආණ්ඩුව බලයට ආපු දා ඉඳලම කළේ මුලු ලෝකයම මවිත කරමින්, ඉවර කරන්න බැහැයි කියපු ඒ යුද්ධය අවසන් කරපු ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට පන්න පන්න පහර දීමයි. 2015 දී මේ ආණ්ඩුව ඔවුන්ගෙ විදේශීය හාම්පුතුන් සමඟ එක්වෙලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ සම්මත කරගත්ත 30/1 යෝජනාවෙන්, ශ්‍රී ලංකාවේ යුද අපරාධ විමර්ශණය කරන්න විදේශීය විනිශ්චයකාරවරුන් හා පරිචෝදකයන්ගේ සහභාගීත්වයෙන් දෙමුහුන් යුද අපරාධ අධිකරණයක් පිහිටුවන්න එකඟවුණා.

උසාවියට ඉදිරිපත් කරන්න තරම් සාක්‍ෂි නැති වුනත් යුද අපරාධ කළාය කියල සැකයක් හරි චෝදනාවක් හරි තියෙන සියලු ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ව තනතුරු වලින් ඉවත් කරන්න ආණ්ඩුව එකඟ වුණා. 30/1 යෝජනාවේ සඳහන් පොරොන්දු ඉටු කිරීමට දැනටමත් ලංකා ආණ්ඩුව නීති ගණනාවක්ම සම්මත කරලයි තියෙන්නෙ.  2016 අංක 14 දරණ අතුරුදහන් වූවන්ගේ කාර්යාල පනත තුළින්, ඕනෑම අවස්ථාවක ත්‍රිවිධ හමුදාවේ හෝ පොලීසියේ පරිශ්‍රයකට ඇතුල් වෙලා එහි තිබෙන භාණ්ඩ හෝ ලියවිලි තමන් සන්තකයට ගන්න බලය තියෙන, අවශ්‍ය පුද්ගලයන් කැඳවා රාජ්‍ය රහස් පනතේ විධි විධානත් බල රහිත වෙන විදියට සාක්‍ෂි  විභාග කළ හැකි විමර්ශණ සභාවක් දැනටමත් ඇති කරලයි තියෙන්නෙ.

අතුරුදහන් කරවීම් වලට එරෙහි ජාත්‍යන්තර ප්‍රඥප්තිය ලංකාවේ බලාත්මක කරන 2018 අංක 5 දරණ පනතින්, ලංකාවේ අතරුදහන් කරවීමක් සිදුකලාය කියල සැකකරන පුද්ගලයකු ලංකාවේදී අත්අඩංගුවට ගෙන වෙනත් රටකට ගෙන්වාගත හැකිවන විදියට විධිවිධාන සලස්වල තියෙනවා. අතුරුදහන් කරවීම් වැළැක්වීම සඳහා ජාත්‍යන්තර ප්‍රඥප්තිය කියල ඒකට කිව්වට ඒකේ ඇත්තවශයෙන්ම  තියෙන්නෙ සැකකරුවන්ට දඩුවම් කිරීමේ යාන්ත්‍රණයක්. මේ ආණ්ඩුව ගෙනාව 2018 අංක 24 දරණ අපරාධ කටයුතු සම්බන්ධයෙන් අන්‍යෝන්‍යන්‍ය්‍ය   සහයෝගීතාවය ලබාදීමේ පනතෙන් කරන්නෙ පිටරටක උසාවියක් විභාග කරන නඩුවකට අදාලව සාක්‍ෂි හෝ වෙනත් දේවල් ලංකාවෙන් ලබාගත හැකිවන ආකාරයේ ක්‍රමවේදයක් සැකසීමයි.

මේ පනත් තුනම එකට එකක් සම්බන්ධයි. අතුරුදහන් වූවන්ගේ කාර්යාලය විසින් විභාග පවත්වල සැකකරුවන් පිළිබඳ විස්තර ප්‍රසිද්ධියට පත් කරනවා. ඒ මත පදනම් වෙලා පිටරට උසාවිවල අපේ රණවිරුවන්ට විරුද්ධව නඩු දානවා. ඊට පස්සෙ ඒ විදේශීය රටවල් අතුරුදහන් වීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්තියේ විධිවිධාන වලට අනුව අදාල පුද්ගලයන් ලංකාවේදී අත්අඩංගුවට අරගෙන තමන්ගෙ රටවලට ගෙන්න ගන්නවා. ඊට පස්සෙ එම පුද්ගලයන්ට විරුද්ධව අපරාධ කටයුතු වලදී අන්‍යෝන්‍ය සහයෝගීතාවය දැක්වීමේ පනතේ විධි විධාන යටතේ නඩුව පවත්වාගෙන යනවා. ඒක තමයි සැලැස්ම.

ඒ අතරතුර ලංකාවේ ආණ්ඩුව ත්‍රිවිධ හමුදා සාමාජිකයන් දිගට හරහට දඩයම් කරනව. සාක්ෂියක් නැත්නම් කාගෙන් හෝ ප්‍රකාශයක් ලබාගෙන හෝ ඉලක්කගත සන්නද්ධ හමුදා සාමාජිකයන්ව හිරේ දමනවා. යුද්ධයට නායකත්වය දුන් හැම නිලධාරියෙක්ම පොලිසියට ගෙන්නල අඩුම ගානෙ ප්‍රශ්න කරල හරි තියෙනවා. අපේ රටේ ඉහලම ත්‍රිවිධ හමුදා නිලධාරියා වන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානියාවත් තනතුර දරද්දිම කාලයක් රිමාන්ඩ් කරල හිටියා. මේවා සේරම කළේ අපේ සන්නද්ධ  හමුදා සාමාජිකයන් රණවිරුවන් නොව මිනීමරුවන්, කප්පන් කාරයන් සහ හොරුන් කියන අදහස මේ රට තුළත්, ලෝකය පුරාමත් සමාජගත කරලා ඔවුන්ව විදේශීය උසාවි වලට පාවාදීම සාධාරණීකරනය කරන්නයි.

බුද්ධි අංශ නිලධාරීන්ව රඳවාගෙන හිටියේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ විධිවිධාන අනුව. ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ගේ අතින් යම් වැරැද්දක් සිදුවෙලා තියෙනවා නම් ඒක විභාග වෙන්න ඕනෙ සාමාන්‍ය නීතිය යටතේයි. ත්‍රස්තවාදයද වැලැක්වීමේ පනත තියෙන්නෙ ත්‍රස්තවාදී උවදුරක් පවතින වෙලාවක ත්‍රස්තවාදීන්ට විරුද්ධව යොදවන්න විතරයි. මේ ආණ්ඩුව ඒ පනත සිතා මතාම සන්නද්ධ හමුදා සාමාජිකයන්ට විරුද්ධව පාවිච්චි කළේ මුලු ත්‍රිවිධ හමුදාවම මානසිකව වට්ටන්න. මෙතන ක්‍රියාත්මක වුනේ ලංකාව සම්පූර්ණයෙන්ම නැතිභංගස්තාන කිරීමේ අංගසම්පූර්ණ වැඩ පිළිවෙලක්.

එක පැත්තකින් රට ආරක්‍ෂා කරන ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් දඩයම් කරලා අකර්මණ්‍ය කරනවා. ඊට පස්සෙ ලංකාවට අලුත් ව්‍යවස්ථාවක් හඳුන්වල දීල මධ්‍යම ආණ්ඩුව නැත්තටම නැති කරල රට පළාත් ආණ්ඩු 09 කට බෙදල වෙන් කරනවා. අලුත් ව්‍යවස්ථා කෙටුම්පතට අනුව හදිසි නීති තත්වයක් ප්‍රකාශ කළත් ඒකට විරුද්ධව කාට හෝ උසාවි ගිහිල්ල වාරණයක් ලබා ගන්න පුලුවන් වෙන විදිහට විධිවිධාන සලස්වලයි තිබුණෙ. ඒ ව්‍යවස්ථාව බැරි වෙලාවත් සම්මත වෙලා තිබුණ නම් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පස්සෙ වෙන්නෙ මොනවද කියල අපිට හිතාගන්නවත් බැරි වෙනවා.

මේ සැලසුමේම  තව කොටසක් තමයි 1979 ත්‍රස්තවාදය වැලැක්වීමේ  පනත අහෝසි කරල දැන් ඔය සාකච්ඡා වෙන ප්‍රති-ත්‍රස්ත පනත ගේන එක. ඒකත් 2015 ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී අපේ ආණ්ඩුව ඒගොල්ලන්ගෙ විදේශීය හාම්පුතුන්ට දීපු පොරොන්දු වලින් ප්‍රධානම එකක්. ත්‍රස්තවාදවාදයට විරුද්ධව නීති වල ප්‍රධානම අරමුණ වෙන්නෙ ත්‍රස්තවාදය මර්ධනය කිරීමයි. ත්‍රස්තවාදයට දඩුවම් දීම ද්විතීයික කාරණයක්. ත්‍රස්තවාදය මර්ධනය කිරීමට අත්‍යවශය කාරණය වන්නේ අත්අඩංගුවට ගන්න ත්‍රස්තවාදී සැකකරුවන් සාමාන්‍ය නීතියෙන් ඉඩ දෙනවට වඩා කාලයක් රඳවාගෙන ඉන්න ඉඩ සැලසීමයි. ඕක මත තමයි සියල්ල රඳා පවතින්නෙ. අපේ රටේ දැනට බලපවත්වන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ත්‍රස්තවාදී සැකකරුවෙකු මාස 18 ක් දක්වා රැඳවුම් භාරයේ තබා ගැනීමටත් ඔහුට එරෙහිව ඇති නඩු කටයුතු අවසන් වනතුරු රිමාන්ඩ් බාරයේ තබා ගැනීමටත් පුලුවන්.

නමුත් යෝජිත ප්‍රති-ත්‍රස්ත පනතට අනුව ත්‍රස්තවාදී සැකකරුවෙකු රැඳවුම් භාරයේ හා මහාධිකරණයේ නියෝගය මත රිමාන්ඩ් බාරයේ තබා ගත හැකි උපරිම කාලය අවුරුද්දයි. ඊට පස්සෙ සැකකරුවන්ට ඇප දෙන්න වෙනවා.  ඔහුට විරුද්ධව නඩු පැවරීමෙන් පස්සෙ එක අවුරුද්දක් ඇතුළත නඩුව අවසන් කිරීමට නොහැකි වුවහොත් ඔහුව අනිවාර්යෙන්ම ඇප මත නිදහස් කරන්න වෙනවා. ඔහොම නීති වලින් ත්‍රස්තවාදයට එරෙහි සටන ජයගන්න බැහැ. 2005 දී ලන්ඩන් නුවර ප්‍රහාරයෙන් පස්සෙ ටෝනි බ්ලෙයාර් අගමැතිවරයා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගෙනාව ත්‍රස්තවාදී සැකකරුවන්ව මාස තුනක් නඩු නැතුව රැඳවුම් බාරයේ තබන්න.

ඒ වෙලාවෙ බ්‍රිතාන්‍යයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ඒ ආණ්ඩුවෙන් ඉල්ලා හිටියේ ත්‍රස්තවාදී සැකකරුවන් විමර්ශණ වලට අවශ්‍ය වෙන ආකාරයට සීමාවක් පනවන්නෙ නැතුව රඳවා ගන්න පුලුවන් වෙන විදියට නීති හදන්න කියලයි. නමුත් ටෝනි බ්ලෙයාර්ගෙ ලේබර් පක්‍ෂයේ සමහර මන්ත්‍රීවරු ඇතැම් ජනකොටස් වල ඡන්දය මත රඳා පවතින නිසා ඒ නීති සංශෝධනයට ඉඩ දුන්නෙ නැහැ. ත්‍රස්තවාදී සැකකරුවන්ගේ  උපරිම රැඳවුම් කාලය දින 28 ක් දක්වා පහතට දැම්මා. එදා ඉඳල අද වෙනකම්ම බ්‍රිතාන්‍යයේ පොලීසිය එක දිගටම පෙන්වා දෙන්නේ ඒ කාලය  කිසිසේත්ම ප්‍රමාණවත් නැති බවයි.

ඇමරිකාව නම් ඊට වඩා වෙනස් විදියට කටයුතු කළා.  2011 දී බැරක් ඔබාමා ජනාධිපතිවරයා අලුත් නීතියක් ගෙනාවා ඇමරිකාව තුළ හෝ ඉන් පිටත ඇමරිකාවට විරුද්ධව කටයුතු කරන ත්‍රස්තවාදී සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තොත් ඔහුව දින නියමයක් නැතුව, නඩුත් නැතුව රැඳවුම් බාරයේ තබා ගන්න. ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්  වගේ රාජ්‍ය නොවන සංවිධාන වලින් පෙන්නල දීලා තියෙනවා මේ නීතිය විදේශිකයන්ට මෙන්ම ඇමරිකානු පුරවැසියන්ටත් එක ලෙස බලපාන බව.

රඳවා තබාගන්න එක විතරක් නොවෙයි, ත්‍රස්තවාදයට දෙන දඩුවම් තදකරන එකත් මෙහිදී වැදගත් වෙනවා. 2015 ගෙනාපු පනතකින් මහා බ්‍රිතාන්‍ය  ආණ්ඩුව ඒගොල්ලන්ගෙ අනපනත් ගණනාවක්ම සංශෝධනය කරල ත්‍රස්තවාදයට දෙන දඩුවම් තවත් තද කළා. ඒ අනුව පුපුරණ ද්‍රව්‍ය නිපදවීම හෝ ලඟතබා ගැනීම වැනි වැරදි වලටත්, ත්‍රස්තවාදියෙකු හැටියට පුහුණුව ලැබීමත්, ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම විය හැකි වැරදි ලෙස නම් කරනු ලැබුවා. සාමාන්‍ය නීතිය යටතේ ඇති වැරදි යම්කිසි පුද්ගලයෙකු ත්‍රස්තවාදයට හවුල් වීම නිසා සිදු කරන්නේ නම්, එයට සාමාන්‍ය අපරාධකාරයෙකුට වඩා දැඩි දඩුවම් පැමිණවීම බ්‍රිතාන්‍යයේ නීතියෙන් සිදුවෙනවා.

නමුත් අපේ ආණ්ඩුව දැන් ගේන්න හදන ප්‍රති-ත්‍රස්ත පනතින් කරන්නේ සාමාන්‍ය අපරාධකරුවන්ට ලබාදෙන දඩුවම් වලටත් වඩා බෙහෙවින්ම ලිහිල් දඩුවම් ත්‍රස්තවාදීන්ට ලබා දීමයි. ඒ ලිහිල් දඩුවම් වුනත් නොවිඳ සිටීමට ත්‍රස්තවාදී චූදිතයෙකුට නීතියෙන් ඉඩකඩ හදල දීලා තියෙන්නෙ. ත්‍රස්තවාදීන්ට උපරිම බුරුලක් ලබා දෙන අතරම රජයේ සන්නද්ධ හමුදා සාමාජිකයන් දඩයම් කරන ආණ්ඩුවක් තමයි අපිට ඉන්නෙ.

ඊට හාත්පසින්ම වෙනස් විදියට, ඇමරිකාව තමන්ගේ ජාතික ආරක්‍ෂාව ගැන සුවිශේෂ උනන්දුවක් දක්වනවා. ජෝර්ජ් බුෂ් ජනාධිපතිවරයා 2002 දී ඇමරිකානු සන්නද්ධ හමුදා ආරක්‍ෂා කිරීමේ පනත තුළින් ඇමරිකානු පුරවැසියෙකු හෝ ඇමරිකාවේ මිත්‍රයෙකු ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය විසින් අත්අඩංගුවට ගතහොත් එම පුද්ගලයාව බලහත්කාරය යොදවා හෝ මුදවා ගැනීමට ඇමරිකානු ජනාධිපතිවරයාට බලතල පවරා තියෙනවා. ඒ වගේම ඇමරිකාවේ උසාවි හා රජයේ ආයතන සියල්ලටම ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය එක්ක මොනම හෝ ගනුදෙනුවක් පවත්වාගන්න එක සම්පූර්ණයෙන්ම තහනම් කරලයි තියෙන්නෙ. ආත්ම අභිමානයක් තියෙන රටක් තමන්ගේ සන්නද්ධ හමුදා රකින්නේ එහෙමයි.

එක ත්‍රස්තවාදයක් පරාජය කිරීමේ 10 වන සංවත්සරය සමරණ මේ මොහොතේ අපි දැන් තවත් ත්‍රස්තවාදයකට මුහුණ දීල තියෙනවා. මේක ගෝලීය ත්‍රස්තවාදය එක්ක කටයුතු කරන දේශීය ත්‍රස්තවාදයක්. 2008 මුම්බායි නගරයට ප්‍රහාරය එල්ල වුණේ ඉන්දියන් ජාතිකයො අතින් නෙවෙයි. නමුත් පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කරපු හැම ත්‍රස්තවාදියෙක්ම ශ්‍රී ලාංකිකයෙක්. ඒ ත්‍රස්තවාදීන් පළමු ප්‍රහාරයෙන්ම කොටි සංවිධානයටවත් එක් තනි ප්‍රහාරයකින් මරන්න බැරි වෙච්ච තරම් සිවිල් වැසියන් ගණනක් ඝාතනය කළා. අද මේ රට බේරගන්න ඉන්නෙ මේ ආණ්ඩුව නින්දිත විදිහට දඩයම් කරපු සන්නද්ධ හමුදාව විතරයි.

යුද ජයග්‍රහණයේ දසවෙනි සංවත්සරයේදී මම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න කැමතියි ලංකාවේ යුද්ධයේ අවසන් අදියරේදී කිසිදු යුද අපරාදයක් සිදු නොවුන බව. ලෝකයේ සන්නද්ධ ගැටුම් වලට බලපාන නීතිය සකස්කරල තියෙන්නේ යුද්ධ කරන්න බැරි විදිහට නෙවෙයි, යුද්ධ කරන්න පුලුවන් විදියට. යුද නීතිය ඒ තත්ත්වයෙන් පවත්වාගෙන යන්නේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් කියලත් කියන්න ඕනෙ. එම බටහිර රටවල් පිළිගන්න යුද නීතියට අනුව ලංකාවේ කිසිදු යුද අපරාධයක් සිදු නොවුනු බව මම නැවතත් ප්‍රකාශ කර සිටිනවා.

ලෝකයේ යුද නීතිය හා භාවිතය පිලිබඳව ප්‍රමුඛතම විශේෂඥයන් වන මහාචාර්ය මයිකල්  නිවුටන්, මහාචාර්ය ඩේවිඩ් ක්‍රේන්, ශ්‍රීමත් ඩෙස්මන්ඩ් ද සිල්වා, ශ්‍රීමත් ජෙෆ්රි නයිස්, රැජිනගේ නීතීඥ රොඩ්නි ඩික්සන්, මේජර් ජනරාල් ජෝන් හෝම්ස් වැනි විශේෂඥයන් ඒ කාලයේදී මේ බව ලිඛිතවම ලංකා ආණ්ඩුවට දන්වල තිබුණා. ලංකාවේ සන්නද්ධ හමුදා යුද අපරාධ කළ බවට කෙරෙන මේ චෝදනාව හුදෙක්ම දේශපාලන කාරණයක්. අපිට ඒකට ප්‍රතිචාර දක්වන්න පුලුවන් වෙන්නෙත් දේශපාලනිකවයි.

ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය ජයගෙන රටට සාමය උදාකර දෙන්න දිවි පිදූ හා අබාධිත තත්වයට පත්වුණු සියලුම රණවිරුන් මේ අවස්ථාවේදී මම ගෞරවයෙන් සිහිපත් කර සිටිනවා.

ඔබ සැමට තෙරුවන් සරණයි,
දෙවි පිහිටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here