Tuesday, May 21, 2019
Home ආකල්ප අන්තවාදයේ අග මුල පටලැවිල්ල : කුසල්ගේ විග්‍රහයක්

අන්තවාදයේ අග මුල පටලැවිල්ල : කුසල්ගේ විග්‍රහයක්

0
56

පාස්කු ඉරිදා ප්‍රහාරයට තව දින පහකින් මාසයකි. එහෙත් මේ රට තවමත් භීතියෙන් කල් ගෙවයි. “ඉස්ලාම් අන්තවාදී” ත්‍රස්ත ප්‍රහාර ගැන කතා හැදුණත් හතර අත වගා වන්නේ “මුස්ලිම් විරෝධී” සිංහල බෞද්ධ අන්තවාදීන්ගේ ප්‍රචණ්ඩත්වයකි.

පාස්කු ඉරිදා ප්‍රහාර වලට සම්බන්ධ යැයි කියූ ජාතික තවුහීඞ් ජමාත් අන්තවාදය ගැන කතාවක් දැන් නැත. දැන් දිග හැරෙන්නේ මුස්ලිම් පල්ලි, කඩ සාප්පු, ගොඩනැගිලි හා වත්කම් ඉලක්ක කරගෙන පැතිරෙන ප්‍රචණ්ඩත්වයකි.මෙවර ඒ මුස්ලිම් විරෝධය මුදා හැරුණේ පසුගිය මැයි 05 වන ඉරිදා රාත්‍රියේ මීගමුවේ පොතුපිටියෙනි. ප්‍රසිද්ධියේ කතා නොවුණත් එහි පසුබිමෙහි බලවතුන් කිහිප දෙනකු සිටියහයිද මීගමුවේ ජනතාව අතර කියැවෙයි. එය වැල්ලවීදිය, දුංගල්පිටිය, කොච්චිකඬේ දක්වා පැතිරුණු බව ද මුස්ලිම් නිවෙස් හා කඩ සාප්පු කිහිපයකට සහ පල්ලියකට ද අලාභහානි සිදුව තිබුණු බව ද ආරංචි විය. ඇඳිරි නීතිය ඒ අවට ප්‍රදේශයට පනවනු ලැබූයේ ඒ හේතුවෙනි. එය එතැනින් හලාවතට ගියේය. ඒ ප්‍රචණ්ඩ මුස්ලිම් විරෝධය එතැනින් කුලියාපිටියට පැමිණියේය. කුලියාපිටියෙන් එය කුරුණෑගල දිස්ත්‍රික්කයේ බස්නාහිර පැත්තට වන ප්‍රදේශ ගණනාවකට පසුදින සඳුදා වන විට පැතිරුණි. කුරුණෑගල දිස්ත්‍රික්කය මායිම්වන ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකද මුස්ලිම්වරුනට පහරදී ඇතැයි අසන්නට ලැබිණ. එහෙත් ඒ කිසිවක් නොදන්නා යාපනය, මොණරාගල වැනි දුර බැහැර ප්‍රදේශද ආවරණය කරමින් රට පුරා ඇඳිරි නීතිය පනවනු ලැබිණ. හදිසි නීතිය හා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන විටද ඇතැම් ස්ථාන වල පහරදීම් සිදුවිණැයි වාර්තා විය. පසුදින අඟහරුවාදාද වයඹ පළාතේ මුස්ලිම්වරුන්ට පහරදීම් සිදුව ඇත. අඟහරුවාදා සවස්වන විට පළමු මුස්ලිම් ඝාතනය සිදුව තිබිණ. දෙවන දිනටත් නැවත රට පුරා රාත්‍රී ඇඳිරි නීතිය පනවනු ලැබිණ. ඒ මෙය ලියන මොහොතේදීය.

මේ සියල්ලෙහි නොකියවෙන නමුත් යටිපෙළ දැකිය හැකි විසකුරු දේශපාලනයක් ඇත. සාමාන්‍ය රටේ ජනතාව කිසිවිටෙක බලාපොරොත්තු නොවුණු පාස්කු ඉරිදා ප්‍රහාර වලින් පසු මැයි 06 වනදා රජයේ ද්විතීයික පාසල් සියල්ල විවෘත කිරීමට ආණ්ඩුව තීන්දු කළේ ජාතික ආරක්ෂක මණ්ඩලයේ එකඟත්වය ඇතිවය. ඒ වනවිට ජාතික තවුහීඞ් ජමාත් සංවිධානයේ සියලු ත්‍රස්ත ජාල බිඳ හමාර බවත් ඔවුන්ගේ ක්‍රියාධාරීන් සැලකිය යුතු ප්‍රමාණයක් මිය ගොස් ඇති බවත් ඉතිරි පිරිස් අත් අඩංගුවට ගෙන ඇති බවත් හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මාධ්‍යයට කියා තිබිණ. ඔහුගේ ඉල්ලීම වූයේ සාමාන්‍ය ජීවිත දැන් යළි ආරම්භ කළ යුතු බවය. එසේ වූවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් පැවසුවේ පෞද්ගලික කතෝලික පාසල් විවෘත කෙරෙන්නේ 14 වන අඟහරුවාදා බවය. එයට හේතු දක්වමින් එතුමන් අල් ජසීරා සමඟ පවසා තිබූයේ ඔවුන්ට විදේශයෙන් ලැබුණු තොරතුරු අනුව ත්‍රස්ත ප්‍රහාර ඉදිරියේ ඇති විය හැකි බවය. ඇතැම් විට වර්ධනය වන තත්ත්වයන් හමුවේ ඒවා වෙසක් පසුවන තෙක් විවෘත නොකිරීමටද ඉඩ ඇතැයි අගරදගුරුතුමන්ද පවසා තිබිණ.

පාස්කු ඉරිදා ප්‍රහාර වලින් පසු එතුමන්ගේ සියලු ප්‍රකාශ ඉතා පරෙස්සමෙන් කිරා මැන කරනු ලැබූ ප්‍රකාශ විය. මෙය පමණක් එසේ නොවන්නේ යැයි සිතිය නොහැකිය. ඒ වගේම ආණ්ඩුවේ තීන්දුවට පටහැනිව පෞද්ගලික කතෝලික පාසල් විවෘත නොකරන බව කීමෙන් එතුමන් කිසියම් අනතුරක සේයාවක් ඇතැයි උපකල්පනය කිරීමට හේතුවිය. මේ රටේ අතිශය කතෝලික හා ක්‍රිස්තියානි පාසල්වල අයිතිය 1962න් පසුව ඇත්තේ පල්ලියට නොව රජයට ය. එතුමා මෙන්ම මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බෞද්ධ පාසල් විවෘත කරන්නේ නැතැයි කීවේ නම්, මේ රටේ ඇතිවිය හැකිව තිබූයේ ගොඩ දැමිය නොහැකි අරාජිකත්වයකි. එහෙත් ඔවුන් පාසල් විවෘත නොකරන ලෙස ඉල්ලා සිටියේ ආණ්ඩුවෙන්ය.

එසේ වුවත් පාස්කු ඉරිදා ප්‍රහාර වලින් පසුව මෙරට පාසල් අධ්‍යාපනය මුළුමනින් වාගේ කඩාකප්පල් වීය. කතෝලික පාසල් විවෘත නොකරන්නේ නම්, අපේ දරුවන් පමණක් අවදානමට ලක් කරන්නේ මන්දැයි සිංහල බෞද්ධ මවුපියෝ ආණ්ඩුවට දොස් නැගීමට පටන් ගත්හ. එතැන් සිට අද වෙන තුරු පාසල් අධ්‍යාපනය අඩාලව පවතින්නේය.

පාසල් අඩපණ කිරීමෙන් සමස්ත සමාජයම අස්ථාවර කෙරුණි. ඒ සමඟ සේවක පිරිස් රාජකාරි වාර්තා කෙරුවද රජයේ අනෙක් සේවා ද අක්‍රීයව අඩාලව පවතින්නේය. ඒ අක්‍රීය රජයේ සේවාද මුස්ලිම් විරෝධය සමඟ හවුල් වෙමින් බුර්කාව පැළඳීමේ තහංචිය ඔවුන්ගේ කොන්දේසි අනුව ක්‍රියාත්මක කරන්නට පටන් ගැනිණ. එලෙසින් සමස්ත රාජ්‍ය ක්ෂේත්‍රයම මුස්ලිම් විරෝධය සමඟ අක්‍රීයව ඇත. ඒ සමඟ මුස්ලිම් විරෝධී සිංහල බෞද්ධ අන්තවාදී පිරිස් අලුත් හයියක් ලැබූහ. එය වහා ප්‍රකාශයට පත් වූයේ විශේෂයෙන් මුහුණු පොත සමග සමාජ මාධ්‍ය ජාලවලය. එයට ගොඩවන අන්තවාදී පිරිස් මුස්ලිම් විරෝධී ප්‍රචාර ගෙන යන්නේ ප්‍රබන්ධ සාහිත්‍යයක් සමගින්ය. මුහුණු පොත මුස්ලිම් විරෝධී වෛරීමතවාදයකට සාධක සපයන අතර, විශේෂයෙන් ඇතැම් සිංහල දෘෂ්‍ය මාධ්‍යද එයට හවුල් වන්නේය. මුස්ලිම් විරෝධී සිංහල බෞද්ධ අන්තවාදී කල්ලි දිගන ප්‍රහාර වලින් පසු නිද්‍රාශීලීව සිටියද ඔවුන්ගේ “යළි පැමිණීම” ඔවුහු මුහුණු පොතෙහි සටහන් කරමින් මෙවර කුරුණෑගලින් ප්‍රචණ්ඩත්වය ආරම්භ කළහ.

මේ අස්ථාවර කිරීමේදී අන්තවාදී කල්ලි සඳහා පොලීසිය හා ආරක්ෂක අංශ විසින් යම් ඉඩක් ලබා දෙන්නේ යැයි මේ වනවිට ප්‍රසිද්ධ චෝදනා ඇත. ඇතැම් ස්ථානවල පහරදීම් නොදැක්කා සේ සිටියේ යැයිද බොහෝ තැන්වල මැර කල්ලි පාලනය කිරීමට මැදිහත් වන්නේ සැලකිය යුතු විනාශයකට පසුව යැයිද චෝදනා ඇත.

කුරුණෑගල දිස්ත්‍රික්කය යුද සමයේ වැඩිම සොල්දාදුවන් පිරිසක් බිහි කළ දිස්ත්‍රික්කය බවද, එනිසාම සොල්දාදුවන් සංඛ්‍යාවක් රාජකාරියෙන් බැහැරව එහි ඉන්නා බවද සැලකිය යුතු කාරණාවකි. කෙසේ වුවත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඩා නගර හත අටක් ආශ්‍රිතව දෙදිනක් ඇතුළත මුස්ලිම් ව්‍යාපාර හා නිවෙස් 500ක් පමණ විනාශ වී ඇතැයි වාර්තා විය. මේ පසුබිමෙහි දිවයින පුරා රාත්‍රී ඇඳිරි නීතිය පනවනු ලැබීමේ ප්‍රායෝගික අවශ්‍යතාවක් තිබේදැයි ප්‍රශ්නයක්ද ඇත. මේ කිසිවකට සම්බන්ධයක් නැති දුර ඈත යාපනය හා මොණරාගල වැනි ප්‍රදේශ සඳහා රාත්‍රී ඇඳිරි නීතිය කුමටදැයි තේරුම් ගැනීමේ අපහසුවක් ඇත. දිවයින පුරා ඇඳිරි නීතිය පැනවීමෙන් සාමාන්‍ය ජීවිතයට එය බලපාන්නේ බිය තුරන් කිරීමකට නොව, බිය යළි යළිත් තහවුරු කිරීමටය. සමාජයක් බියෙන් රඳවා තැබීමේ වාසියක් නැවත ස්ථාවර සමාජයක් තහවුරු කිරීමේදී ඇත්තේ නැත.

සියල්ල අස්ථාවර වීම සමඟින් අද ආණ්ඩුව ඉන්නේ කිසිවක් කර කියා ගත නොහැකි අසරණ පිරිසක් සමගය. අගමැති තවමත් කියන්නේ ගෝලීය ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකාවට විදේශ විශේෂඥයන්ගේ සහාය ලැබී ඇති බවත් වහා ප්‍රති ත්‍රස්ත පනත සම්මත කරගත යුතු බවත්ය. ඒ කිසිවකින් මුස්ලිම් විරෝධය සමඟ සමස්ත රාජ්‍ය සේවයත් සමාජ ජීවිතයත් යළි යථා තත්ත්වයට පත් කළ නොහැකි බැව් ආණ්ඩුවේ සහ එ.ජා.ප. නායකත්වය තේරුම් ගන්නේ නැත. මෙයට මුහුණ දීමට නම් ඔවුන් දිස්ත්‍රික්ක හා ආසන මට්ටමින් ඔවුන්ගේ දේශපාලනය ශක්තිමත්ව සමාජගත කළ යුතුව ඇත. එහෙත් සමස්ත රට අස්ථාවර කිරීමේදී මුස්ලිම් විරෝධය වේදිකාවක් කර ගන්නේ සිංහල බෞද්ධ බලයක් වෙනුවෙන් හෙයින් එයට අභියෝග කර ශ්‍රී ලංකාව සියල්ලන්ගේ රටක් යැයි කීමට එ.ජා.ප. නායකයෝද සූදානම් නැත්තාහ. ඔවුන්ද ඒ සිංහල බෞද්ධ ඡන්ද ගණන් හදමින් ඉන්නා බැවිනි.

ආණ්ඩුවේ දේශපාලන නායකත්වයේ දුර්වලකම හමුවේ රට අස්ථාවර කිරීමෙන් ඊළඟට හැදෙන සහ හැදීමට ඉඩ ලැබෙන සමාජ මතය වන්නේ රට පාලනය කිරීමට නොහැකි ආණ්ඩුව නිසාවෙන් සියල්ල විනාශ වන්නේය යන සරල මතය වේ. ඒ මතය වැරැදි යැයි තර්ක කිරීමටද නොහැකිය. එබැවින් එය ඉතා වේගයෙන් මුල් අදිනු ඇත. දේශපාලන භාෂාවෙන් නොවුණත් තේරෙන භාෂාවෙන් කාදිනල්තුමාද කොටහේනේ ශාන්ත ලුසියා දෙව් මැදුරේ පසුගිය ඉරිදා පැවති දේව මෙහෙයේදී කියූවේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම් බාර ගැනීමට නොහැකි සියලු නිලධාරීන් හා පාලකයන් ඉවත් කළ යුතු බවය. එවැනි පාලකයින් රටේ පාලනයෙන් ඉවත් කළ යුතු බව එතුමෝ අවධාරණය කළහ.

  • කුසල් පෙරේරා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here