සිරිසේන චැප්ටර් ක්ලෝස්..?..!

0
142

– සිරිසේන චැප්ටර් ක්ලෝස් –
අද (2019 අප්‍රේල් 21) දවස තුල පුපරාගිය බෝම්බ කිහිපයේ වගකීම පැටවීමට හීන් නූලෙන් නිකුත්වන ප්‍රකාශ කිහිපයක් ම දැන් දැන් සමාජගතවී හමාර ය. රනිල් වික්‍රමසිංහ ගේ ඉංග්‍රීසි ප්‍රකාශයේ සිට, හරීන් ප්‍රනාන්දු හා මනෝ ගනේෂන් දක්වා ඇතැමුන් ඒවා තම තමන්ගේ කෝවෙන් කිරා මැන අගය කරමින් සිටිනු දැකගත හැකි ය.

රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස වුවත් ඉතා සැහැල්ලුවෙන් අද දවසේ කටයුතු කළ ආකාරය දේශපාලනිකව විමසුමට ලක් කරන්නට අපි මැළි නොවිය යුතු ය. ඔහුගේ බොඩි ලැන්ග්වේජ් මැනැවින් විමසන්නෙකුට ඒ සැහැල්ලු බව කදිමට නිරීක්ෂණය කළ හැකි ය. ඒ ද තම තම නැණ පමණින් ය.

කවුරුන් කැමැති වුව ද අකමැති වුවද තිස් වසක් පුරා පැවැති දරුණුතම යුද තත්ත්වය සමහන් කළ යුගයේ, රටේ දේශපාලන නායකත්වය හෙබ වූ මහින්ද රාජපක්ෂ, ඉන් වසර දහයකට පසුව වුව ද ඛේදනීය තත්ත්වයක් හමුවේ අනතුර ද නොතකා අදාළ ස්ථානයට ම යෑමේ පුරුද්ද හා එඩිතර බව අදත් ප්‍රකට කිරීමත්, ඔහුගේ බොඩි ලැන්ග්වේජ් එකත් ඒ ආකාරයට ම තම තම නැණ පමණින් දැනගතයුතු…

ඉන් අනතුරුව, රජය විසින් ක්‍රියාවට යොදවන්නට වෙර දැරූ අන්තර්ජාල මාධ්‍ය වාරණයත් යම් පමණකට විමසිය යුතු ම ය. රජයේ බලධාරී අංශ විසින් ඔවුන්ගේ සීමාවේ සිට එම මාධ්‍ය වාරණය කළ ද සැළකිය යුතු පිරිසක් ශ්‍රී ලංකාවේ සිට ම ඊට පිවිස සිටින ආකාරය පුදුම සහගත බව ඇතැමුන් ප්‍රකාශ කරනු ද දක්නට ලැබේ. ඒ කෙසේ වෙතත්, ක්ෂණයකින් මත නිෂ්පාදිත ස්ථර විනිවිද සත්‍යය, ගලා යාමෙන් කිසිවෙකුටත් අසත්‍යය මත බඩපිනුම් ගසමින් දීර්ඝ වේලාවක් කෙළි කවටෙන් සිටීමේ අවස්ථා අදත් අහිමි කර ඇති සැටියක් ද දිස් වී ය.

ඒ හේතු‍වෙන් රජයේ නිල ප්‍රකාශය නිකුත්වන්නටත් මත්තෙන් ඇතැමුන් ට ඇත්ත තත්ත්වය රට හමුවේ තබන්නට සිදු වූ බවක් ද දිස් වුණි. දෙමටගොඩ සිදුවීම් එලෙස සමාජගත වූ ඒවා වී ය. කෙසේ වෙතත්, රජයේ බුද්ධි අංශ වෙත නිකුත් වූ වාර්තාවක් ඉතා පැහැදිලිව සියලු මාධ්‍ය ඔස්සේ සංසරණය වන්නට පටන් ගැනීම අවසානයේ රජයේ පාර්ශවයට ද වාසි අවාසි නොතකා පිළිගැනීමට සිදුවූ අවස්ථාවක් නිර්මාණය කර තිබේ.

මේ සියල්ලට අමතරව, දෙස් විදෙස් විවිධ දේශපාලනික ක්‍රියාධරයන් ඔස්සේ විටින් විට අපට ලැබුණු ආරංචි හා මේ සිදුවීම් දාමය කෙතරම් ගැලපේ දැයි දෙවරක් නොසිතා එක්වර ම පිළිගන්නා තැනට අප පත්කර ඇත. ඒ අනුව නැගෙනහිර පාදක කරගත් ඇතැම් සමාජ කණ්ඩායම්හි පෙළඹවීම් කෙතරම් භයානක තත්ත්වයකට මේ රට ඇද දමනු ඇද්ද යන්න විටෙක තිගැස්සෙන සුළු මානසික ප්‍රතිචාර දනවයි. ඒ කෙසේ වෙතත්, රජයේ වගකිවයුතු ඇමතිවරුන් ම සිදුවීමෙන් පැය කිහිපයක් යත් ම අදාල සිදුවීම් පෙළ තමන් දැන සිටියා යැයි පැවැසීම ම මෙහි ඇති අභග්ගය මෙන් ම, විචිකිච්චාව ද දෙගුණ තෙගුණ කරයි.

හරීන් ප්‍රනාන්දු ට “තාත්ත මට ඇනපු ටොක්ක” ඔහුට දෙවියන් සිහි නොකරන්නට පාර කියූ බව ප්‍රසිද්ධ මාධ්‍ය යේ පවසන්නේ “දෙවියන්ගේ හාල්” කැවුණු නිසා ම නොවේ ය. ඔහු මේ ප්‍රකාශය කරන්නේ, තම නායක රනිල් වික්‍රමසිංහ ඉංග්‍රීසියෙන් ලොව අමතා ප්‍රසිද්ධ මාධ්‍යයේ කී කතාවට ඌණපූර්ණයක් ලෙස වන්නට ද බැරි නැත. ජනවාරි 8 වන ” මට පෙණුනෙ ඔබව දෙවියෙක් වාගේ” යැයි කියූ සිරිසේන අද හරීන්ලාට පේන්නේ වෙනත් වේෂයකින් විය හැකි ය. ඒ අනුව ලියැවෙන වෙනත් අලුත් කතාවක තවත් පරිච්ඡේදයක් මේ ලෙස ලියැවෙනවා වන්නට ද පුළුවනි ය.

කතාව එතැනින් ද නොනවතී. මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ද වැට පැන ඇති සෙයකි. ඔහු පවසන්නේ මේ සිදුවීම්වලට රාජ්‍ය බුද්ධී අංශ වගකිවයුතු බවකි. ඒ ඇසුරෙන් ද වෙනත් පාර්ශවයක් පිට වරද පැටවීමේ උත්සාහයක් ගැන ඇතිවන සැකය බැහැර කළ නොහැකි ය.

ඊ ළග ප්‍රකාශකයා ද රජයේ ය. ඔහු ඇමති මනෝ ගනේෂන් ය. ඔහු ද පවසන්නේ මේ ප්‍රහාර පිළබඳව කලින් දැන සිටි බවකි. ඒ ද නිකම්ම නිකම් ප්‍රහාර නොවේ ය. මරාගෙන මැරෙන ප්‍රහාරයන් ය. මේ සෑම ප්‍රකාශයක් අරතර ම මනා සබැඳියාවක් නැතැයි කිව නොහැකි ය.

රුවන් විජේවර්ධන ඇමතිවරයා ආරක්ෂක අමාත්‍යාංශයේ සිට ම පවසන්නේ තවත් අපූරු කතාවකි. එනම්, මේ ප්‍රහාරයන්ට අන්තවාදී සංවිධාන සම්බන්ධ බවකි. ඉනුත් නොනැවතී ඔහු පවසන්නේ ඒ අන්තවාදී සංවිධාන තහනම් කරන්නට කටයුතු කරන බවකි. එහෙත් මේ තාක් කිසිවෙකුත් ඒ අන්තවාදී සංවිධාන කවරෙක් දැයි පවසා නැත. එවන් එක් සංවිධානයක් හෝ නම් කරන්නැයි පැනයක් අසන්නට හෝ එකෙක් ඔහු අසලකවත් සිටියේ ද නැත.

සමාජ මාධ්‍යයන්ට රිසිසේ ඇතුලුවන්නට තිබූ අවස්ථාවේ සිට ම, යහපාලනය කැන්දන්නට උරදුන් පාර්ශවයේ සමාජ ජාල පරිශීලකයින් මේ ප්‍රහාර තුලින් රාජපක්ෂලාට අත්වන වාසිය හා මේ ප්‍රහාර රාජපක්ෂ පාර්ශවයේ ආශීර්වාදය ඇතිව සිදුවූවා යන්නට කියන්නට හෝ ඉඟි කරන්නට දැරූ තැත් අපමණ බව ද දැකගත හැකිවී ය. එහෙත් ඒ ද උන් අතරින් ද අතළොස්සකි. යහපාලනය ගෙන එන්නට වෙර දැරූ රාජ්‍ය නොවන තැරැවුකාර පාර්ශවයේ බහුතරයක් මේ දිනවල ගුල්ගතව නිද්‍රා සුවයෙන් සිටිතත්, ඉඳහිට හැව ඇර, යළි බෙනවලට රිංගන සෙයියාවකි. එසේ සිට වුවත්, ලැජ්ජාවක් නැතිව විත් පෙනයක් ඇතැයි සිතා පුප්පන්නට වෙර දරන ගැරඬි මොටාලා ද නැතුවා නොවේ ය.

මේ සියල්ල මෙසේ සිදුවෙද්දී, තවමත්, ලිස්සා වැටෙන තම මොළේ, ඇලේ මඩ ගොඩක් මත රන්දාගෙන සිටින රනිල් ඇතුළු නඩය බලය රැක ගැනීම වෙනුවෙන් දරන තම උත්සාය අත්හැර නැත. ඒ අනුව මේ සියලු ඛේදයන් හමුවේ වුව ද කතා ගොතමින් සැහැල්ලුවෙන් කල් ගෙවමින් සිටී.
රනිල් වික්‍රමසිංහ, ඛේදනීය අවස්ථාවක වුව සැහැල්ලුවෙන් ප්‍රකාශ නිකුත් කරන්නේ ද, හරීන් ප්‍රනාන්දු පල්ලි නොගොසින් ආරක්ෂා වීමට තම පියාගෙන් ලද ආරක්ෂක වාර්තාව ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ ම සමාජගත කරන්නේ ද, මුජිබර් රහුමාන් ආරක්ෂක ඇමති වෙස්ගෙන, වරද රාජ්‍ය බුද්ධි අංශ වෙත පවරන්නේ ද, මනෝ ගනේෂන් පෙර සුදානම හා මරාගෙන මැරෙන බෝම්බ ම බවට මත පල කරන්නේ ද තවමත් මොළේ ඇලේ ඉවුරේ තබාගෙන ය.

අවසානයේ, ආරක්ෂක ඇමතිවරයාගේ කාර්යයභාරය නිසිලෙස ඉටු නොකිරීමේ වගකීම සිරිසේන ජනාධිපතිවරයා පිට පැටවෙනු ඇත. එසේ සිතන්නට මේ ලියුමකරු පොලඹන්නේ අන් කිසිවක් නොව ආන්දෝලනාත්මක බුද්ධි අංශ ලිපියයි. ඒ ලිපියේ එසේ සඳහන් නොවූව ද ඒ ලිපිය පිළිබඳව රජයේ වගකිවයුතු පාර්ශව හිරිකිතයකින් තොරව දක්වන අදහස් සමූහයයි. දේහපාලනය හා සමාජ, ආර්ථික, දේශපාලන තලයේ අද්දැකීම් උරගා බැලීම යනු එවන් නිගමනවලට එළැඹීමට ඇති හැකියාවයි. එයට දේශපාලනික සාක්ෂරතාව යැයි කියමු.

පැයක් දෙකක් වැනි කාලයක් තුල ස්ථාන අට (8) ක දී අධිබලැති බෝම්බ 9 ක් හෝ 10 පුපුරා සිය ගණනක් මරුමුවට පත්ව, තවත් සිය ගණනක් අංගවිකලයන් කොට, පුද්ගලයින් දහස් ගණනක් දුකට පත් කොට, අවසානයේ රටත් ලෝකයත් කම්පාවට පත්කොට හමාර ය.

මේ ගෙවෙන්නේ අලුත් අවුරුදු නිවාඩු සමයයි. ඇතැමුන් අපල දුරුකරගැන්මටත් ආශීර්වාද ලබාගන්නටත් රටින් බැහැරව සිටින සමයයි. රටේ පාලනයට ඍජුව වගකියන 35කට අධික පිරිසක් ඒ අනුව රටින් බැහැරව සිටින බව ද පෙර වාර්තාවල සඳහන් විණි. ඒ අනුව නොවෙතත්, රටේ ජනාධිපතිවරයා ද, එනම් සේනාධිනායකයා ද රටේ නැත. බෝම්බ එපමණක් පිපිරෙද්දී ඔහු සිටියේ සිංගප්පූරුවේ ය. මේ ලිපිය ලියන (රාත්‍රී 10) දක්වා ද ඔහු ලංකාවට පැමිණි බවක් සැළ නොවේ ය.

ඔහු එහි සිටින අතරතුර අගමැති ප්‍රමුඛ කණ්ඩායම විවිධ මත පලකරමින් සිටී. මේ ප්‍රකාශයන් දෙස මැදහත් සිතින් බලන්නෙකුට පෙනී යන්නේ සිරිසේන ජනාධිපතිවරයාට ලැජ්ජාව ගෑවුණු තැනකවත් නැත කියා ය.

සෙස්ස පස්සට…
# ජනිත් විපුලගුණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here