මාතර ඉඳන් බෙලිඅත්තට එන්න වසර 124 ක් ගතවෙලා…

0
145

ගාබ්රියෙල් ගාසියා මාර්කේස් විසින් රචිත ‘සියක් වසක හුදකලාව’ නම් නවකතාවේ ඔහුගේ එන මනඃකල්පිත නගරය වන මැකොන්ඩොවට පළමුවරට දුමිරියක් පැමිණෙනු දකින කාන්තාවක් ගම්මැද්දට පැමිණ කෑ ගසන්නේ මෙසේ ය.

“මොක්දෝ එකක් එනවෝ… දුම් දමන කුස්සියක් ඒක පිටිපස්සෙන් ගමක් ඇදගෙන එනව වගේ… මොකක් හරි භයානක දෙයක් එනවෝ…’’

නොබෝදා බෙලිඅත්තට ගිය දුම්රිය දුටු ගැමියෝ ඒ තරම් විස්මයකට පත් නොවූවත්, ඔවුන්ගේ හද තුළත් කිසියම් අප්‍රකාශිත ප්‍රහර්ෂයක් නම් ඇති වන්නට ඇත. එනම් එතෙක් මාතරින් අවසන්වූ දකුණු වෙරළබඩ දුම්රිය මාර්ගය තවත් කිලෝමීටර් 39 ක් දුර ගෙවා ගොස් ‘බෙලිඅත්තට’ අතට – අත දුන් නිසා ය. මේ කාරණය යම් හෙයකින් අපට විස්මය දනවන්නේ නම්, ඒ දකුණු වෙරළබඩ දුම්රිය මාර්ගය බෙලිඅත්ත දක්වා දික්වීමට අපට ද ‘සියක් වසකටත් වඩා කාලයක්’ බලා සිටීමට සිදුවීම නිසා ය.

කෙසේ වෙතත්, මල්වලින් සැරිසී මැකොන්ඩෝවට පැමිණි ‘සියක් වසක හුදෙකලාවේ’ දුම්රිය එහි ජනී ජනයාගේ ජීවිතත් මැකොන්ඩෝවත් මුළුමනින්ම පාහේ වෙනස් කරන්නට සමත් වූයේ යම් සේ ද, ශ්‍රී ලංකාවට මුල්වරට දුම්රිය සේවාවක් ලැබීම ද අපට මෙන්ම අපේ රටට දැවැන්ත වෙනසක් එක් කළේ ය. එමෙන් ම ඒ ‘දුම්රිය ඉතිහාසය’ බාධක කම්කටොළු, දුක්ඛ දෝමනස්සයන්ගෙන් මෙන් ම ප්‍රීතිජනක සන්ධිස්ථානයන්ගෙන් ද අනූන විය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට දුම්රිය සේවාවක් ලැබෙන්නේ, දේශීය මගී ප්‍රවාහන අවශ්‍යතා සැපීරීම සඳහා නොව යටත් විජිත වතුහිමියන්ගේ වතු භෝග කන්ද උඩරට සිට පහසුවෙන් කොළඹට රැගෙන විත් කොළඹ වරායෙන් නැව් නැංවීමේ ක්‍රියාවලිය පහසු කිරීම සඳහාය.

එකී දුම්රිය මාර්ග පද්ධතිය මෙන්ම ඒ හා සමාන්තරව දියුණු කරන ලද මහාමාර්ග පද්ධතිය දැක්වෙන සිතියමකින් යටත් විජිත පාලකයින් අපේ රටේ ප්‍රවාහන පද්ධතිය සැලසුම් කළේ, අපේ රටේ සමස්ත දේශීය සාරය කොළඹ නමැති ‘හදවත’ වෙත අදින රුධිර නාළ පද්ධතියක් ලෙස ය. මුලින්ම සිතියම්ගත කෙරුණු එම දුම්රිය මාර්ග පද්ධතිය යථාර්ථයක් කිරීම සඳහා මංගල පස්පිඩැල්ල කැපූ 1858 අගෝස්තු 03 වන අඟහරුවාදා දින සන්ධ්‍යාවේ පැවැති භෝජන සංග්‍රහයේදී හෙන්රි වෝඩ් ආණුඩුකාරවරයා මෙසේ පවසා තිබේ.

“මෙරටේ සියලු දෙනාගේ ඒකාවන් පැතුම් සමග ඇරඹූ මෙම සමාජ සුබසාධන කාර්යය ලංකා ඉතිහාසයේ තීරණාත්මක, සංවර්ධනයකට ඉවහල් වන මුලපිරීමක් වනු ඇත.

එම උත්සවය පැවැති ‘ලොකෝ හන්දියේ පළිඟු මාළිගාව’ ලෙස හැඳින්වුණු ශාලාවේ ඉහළින් “ Railways – Road Civilization progress” යන පාඨය ද ලියා තිබිණි.

දේශීය පුවත් පත් ද ‘දුම්රියේ පැමිණීම’ පිළිබඳ වඩාත් උනන්දු සහගත වාර්තා පළකර තිබිණි. 1864 පෙබරවාරි 12 වැනිදා “ලක්රිවිකිරණ’’ පුවත්පතේ “යකඩ අශ්වයා’’ යන මැයෙන් යුතුව “දැනට මෙම ලංකාවේ කොළඹටත් – නුවරටත් අතරේ දුම් කරත්තය නමැති යකඩ අශ්වයා විහිදුවන පිණිස සෑදීමට පටන්ගෙන තිබෙන රේල් පාරේ වැඩ බොහෝ දුරට කෙරී තිබෙන බව පේන්නට තිබෙනවාය………… දැනට කැලණියෙහිද ඉතා සවිබල ඇති යකඩ පාලමක් සාදන බව පෙනෙයි. මෙසේ ඉතා කඩිනමට කෙරීගෙන යන්නා වූ වැඩ, වැඩිකල් නොගොස් නිමවූ කඩිනමින් දැනට ලංකාවට ගෙනත් මරදානයෙහි තිබෙන දුම් කරත්තයෙහි ගමන පටන් ගන්නවා ඇත. එබඳු දෙයක් පෙර නුදුටු අප රටවාසීන්ට එය දැක්මට ප්‍රිය වූ දෙයක් බව සංකා නැත. අනේ අපේ කාලයේදී ඔය දුම් කරත්ත යනවා දකින්නට ලැබේවිදෝයි යන බය නොයෙක් වර ඇසීමු………………….’’ යනුවෙන් වාර්තා කළේය.

කෙසේ වෙතත් කොළඹ සිට අඹේපුස්ස දක්වා ලංකාවේ මංගල දුම්රිය ගමන සිදුවූයේ, අදින් වසර 155ට පෙර, එනම් 1864 දෙසැම්බර් මාස 27 වන අඟහරුවාදා දිනය. ඊට මාස කිහිපයකට පෙර දුම්රිය මාර්ගයේ වැඩකටයුතු සඳහා එංගලන්තයෙන් ගෙන්වා තිබූ දුම්රිය එංජිමේ ක්‍රියාකාරීත්වය පිළිබඳ 1864 මාර්තු 11 වැනිදා “ලක්රිවිකිරණ’’ පත්‍රය ඉතා උත්කර්ෂයෙන් වාර්තා කළේ “දැනට ඉතා අලංකාර ලෙස සාදා නිමකොට තිබෙන දුම් කරත්තය පසුවුණු සඳුදා දින උදය නවයට කොළඹ මරදානේ සිට සැතැප්ම එකහාමාරක් පමණ යකඩ බාල්ක පිට දුවගොස් නැවත විනාඩි ස්වල්පයකින් ආපසු ආවාය.

මෙසේ දෙවරක්ම ගමනාගමනය කොට එදා නැවතී තිබී, පසුවදා එම ලීලාවෙන්ම එය තබා තිබෙන ගෘහයෙන් එළි බැස අවුත් දුම් කරත්ත පාරෙහි යකඩ බාල්ක පිට පෙළට තබා පස් පුරවන ලද ඉතා බරපතළ කරත්ත දොළසක් එකවිට ඉදිරියට තල්ලුකරගෙන දුවගොස් එහි තිබූ පස් බෑමට සුදුසු ස්ථානයෙහි නවත්වා ආපසු දුවගොස් හිස්ව තිබූ වෙනින් කරත්ත දොළසක් ද ඇද ගෙන ගොස් පස් පුරවන ස්ථානයෙහි තැබුවාය. මෙයාදී ක්‍රමයෙන් එදා සවස් වනතුරු පස් ඇදීමෙහි වැඩපළකර සවස අර කී කරත්ත විසිහතරම, දොළසක් ඉදිරියට තල්ලු කරගෙන අනෙක් දොළස පස්සෙන් ඇරගෙන ගොස් එය තිබූ ස්ථානවල ඒ ඒ තන්හි තබා මේ නාලාගිරි හස්ති රාජයාටත් වැඩි තරම් සවිබල ඇති දුම් යන්ත්‍රය හෙවත් දුම් කරත්තය තම ග්‍රහණයට වන්නේය’’ යනුවෙනි.

මංගල දුම්රිය පිටත්වීම දෑසින්ම බලා ගැනීම සඳහා ජනයා විශාල වශයෙන් රැස්වූ බවද, ලොකු කුඩා සියල්ලෝම විස්මයෙන් යුතුව ඒ දෙස බලා සිටි බවද ඇතැම් දරුවෝ කුඩා දරුවෝ බියවී මරහඬ තැලූ බවද අස්, ගව සුනඛාදී සතුන් මරහඬ දෙමින් දස අත දිව ගිය ගොස් තිබේ. ඇතැම් ඈත පිටිසරින් ගැල්වල නැග දුම් කරත්තයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ කනින් කොනින් අසා දැනගෙන පැමිණි වැඩිහිටියන් මේ සා විශාල දුම්කරත්තයක් අදින්නට කොතරම් අශ්වයන් පිරිසක් සිටිය යුතු යැයිද, මේ අලකලංචි මැද්දේ අනේ උන්ට කන්නට දෙන්නට කවුරුන් උනන්දු වෙද්දෝ යයි සිතා තමන් පැමිණි ගැල්වල තණකොළ මිටි ගෙනා බවද, දුම්රිය දැක ගැනීමෙන් අනතුරුව තණකොළ කාට කම්දෝ යැයි සිතා නැවත පැමිණ තැන්වල දමා ගිය බවටද ජනශ්‍රැතියෙහි සඳහන් වෙයි. ඇතැම් වැඩිහිටියන් දුම් දමමින් තමන් පසුකරමින් යන දුම් කරත්තය දැක “දැන් දුම් බලෙන් ගෙවලුත් ගමන් කරනවා නේදෝ…’’ යි යනුවෙන් මවිතයට පත්වූ බවද ජනශ්‍රැතියේ සඳහන් වන අතර එය මෙම ලිපිය ආරම්භයේ දී සිහිපත් කළ ‘මැකොන්ඩෝවේ ගැමි ස්ත්‍රියගේ’ ප්‍රකාශය ම යළිත් වතාවක් සිහිගන්වයි.

ක්‍රිව 1870 දී කොළඹ සිට මහනුවර දක්වා වූ දුම්රිය මාර්ගයේ මගී හා භාණ්ඩ ප්‍රවාහනය ඉතා සාර්ථකව සිදුවිය. එයින් නව ජීවයක් ලැබූ දකුණු ලක වැසියන්ද තම ගම් බිම්වලට පහසුවෙන් යෑම සඳහා දුම්රිය මගක් තනාදෙන ලෙස විවිධ ඉල්ලීම් කරන්නට විය. එම ඉල්ලීම කිසිවක් උඩරට දුම්රිය මග තැනීම සඳහා කළ ඉල්ලීම් තරම් ප්‍රබල නොවූ අතර, යටත් විජිත පාලකයන්, ඒ වන විට පහතරට රේන්ද ව්‍යාපාරය නිසා බලවත්ව සිටි දේශීය ධනවතුන් තම ලාභය වෙනුවෙන්ම කටයුතු නොකර මේ සඳහා දායක වන්නේ නම් දුම්රිය මාර්ගයක් තනාදීම පිළිබඳ සැලකිල්ලක් දැක්විය හැකි බව කියා ලිස්සා ගියේය.

විවිධ බාධක මධ්‍යයේ වෙරළබඩ දුම්රිය මාර්ගය ඉදිකිරීම අදියර කිහිපයක් යටතේ සිදුවන අතර ක්‍රි.ව. 1877 දී වැඩ ආරම්භ කරන එය ගාල්ලට ළඟා වූයේ ක්‍රි.ව. 1894 දීය. ගාල්ලට සිදු වූ මංගල දුම්රිය ගමන නැරඹීම සඳහා අඹේපුස්සට රැස්වූවාක් මෙන් මහා ජන ගඟක් එකතු වූ බව ඓතිහාසික වාර්තාවල සඳහන්ය. රැස්වූ ජනගඟ පාලනය කිරීම සඳහා දුම්රිය ස්ථානය අවට දැම්වැල් යොදා ආරක්ෂා කිරීමට සිදුවූ අතර දුම්රිය ගාල්ලට ළඟා ‍වෙද්දී දුම්රිය නැගූ අනපේක්ෂිත හූ හඬින් සහ දුමින් සියල්ලෝම බියෙන් සලිත වූ බවද ඇතැම් අය බියපත්ව පලාගිය බවද වාර්තා වී ඇත. ක්‍රි.ව. 1895 දී මාතර දක්වා වූ කොටස සාදා නිම වූ අතර ඊයේ පෙරේදා බෙලිඅත්තට දුම්රිය ළඟා වන්නේ ඉන් වසර 124 කට පසුවය.

වෙරළබඩ දුම්රිය මග නිර්මාණය වීමේදී ද ඉතිහාසයට එක්වූ රසමුසු කතා ගණනාවකි. කළුතර බෝධිය පිළිබඳ කතාව ඉන් එකකි. උතුරු කළුතර දුම්රිය ස්ථානය පසුකරමින් කළුගඟ තරණය කරත්ම පාලම අවසානයේදී එය එසැණින් දකුණට හැරෙන්නේ කළුතර බෝධියට ඉඩදීම සඳහාය. නමුත් වෙරළබඩ දුම්රිය මාර්ගයේ මුල්කාලීන සැලසුම්වල යෝජනා වී තිබුණේ, බෝධිය ඉවත්කොට මාර්ගය සෘජුව සැකසීමටයි. එහෙත් කළුතර බෝධි භාරකාර මණ්ඩලය එය වළක්වන ලෙස ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලීම් කළ අතර පසුව එය වෙනස් කරවාගෙන තිබෙන්නේ, සියම් රජතුමාගේ ද මැදිහත්වීම මත වික්ටෝරියා රැජණට කරුණු ඒත්තු ගැන්වීමෙනි. දකුණු වෙරළබඩ දුම්රිය මාර්ගයට කළුතර බෝධිය මගහැර වෙරළ තීරයට බරව වංගුවක් ගන්නට සිදුව ඇත්තේ එබැවිනි.

වාද්දුව සහ කළුතර උතුර අතර පිහිටා ඇති ‘නොම්මර එක’ නමැති දුම්රිය ස්ථානයට ඒ නම ලැබීම පිළිබඳ පසුබිම් කතාව ද රසවත්ය. 1955 දී ඉදිකරන ලද මෙම දුම්රිය ස්ථානය පොතුපිටිය සහ වස්කඩුව යන ගම්දෙක අතර පිහිටා ඇති අතර ඉදිකිරීමෙන් අනතුරුව මේ සඳහා තැබිය යුතු නම පිළිබඳ විවිධ විසංවාද ඇති වූ අතර එයට වස්කඩුව යන නම තැබීමට යාමේ දී ඊට පොතුපිටිය ගම්වාසීන් උරණ විය. එමෙන් ම ඊට පොතුපිටිය යන නම තැබීමට වස්කඩුව ගම්මුන් විරුද්ධ විය. ඉන්පසුව පසුව වස්කඩුව-පොතුපිටය නම යෙදිණි. කෙසේ වෙතත්, පසුව එයටද ගම් දෙකේම අයවළුන් උරණ වූ බැවින්, එම නාමපුවරුව ගලවා මුහුදුට විසිකර දමන්නට අණ කළ, එවකට ප්‍රවාහන අමාත්‍යවරයා වූ ජෝන් කොතලාවල ඊට ‘නමක් වෙනුවට අංකයක්’ දමන්නට යෝජනා කළේ ය. එය ‘දුම්රියපොළ අංක 01’ ලෙස නම් කෙරුණේ එසේ ය. කෙසේ වෙතත් මෙය මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැඩිම ආදායමක් ලබන උප දුම්රිය ස්ථානයක් බවට පත්වන්නට ඇත්තේ එයට ‘අංක එක’ යන නම ලැබුණු නිසා ද විය හැක.

බූස්සේ පිහිටා ඇති තුරඟ තරග පිටිය යටත් විජිත සමයේ සිට 1960 ගණන් වන තුරුත් තුරඟ තරග සඳහා මහත් ප්‍රසිද්ධියක් දරා සිටියේ ය. මෙහි පැවැත්වූ තුරඟ තරග නැරඹීම සහ ඔට්ටු තිබීම සඳහා සඳහා ආණ්ඩුකාරවරයාද අන් ප්‍රභූන්ද නිරන්තරයෙන් දුම්රියෙන් පැමිණි අතර මේ සඳහා සහභාගි වූ අශ්වයන් ප්‍රවාහනය කිරීම මෙන්ම ඔවුන්ගේ ජොකියන් සහ අශ්ව හිමිකරුවන්ද වෙරළබඩ දුමිරිය මාර්ගය ප්‍රවාහන මාධ්‍ය කොට ගත්තේය. සැබවින්ම සති අන්තයේදී මේ සඳහා පැමිණෙන ප්‍රේක්ෂකයන් සහ ඔට්ටුකරුවන් ප්‍රවාහනය සඳහා විශේෂ දුම්රියක් යොදවා තිබුණු අතර මේ සඳහා බහුලව භාවිත කෙරුණේ රිදී තේමාවෙන් යුතු S1 පංතියේ ඩීසල් දුම්රිය වන අතර ඒවා “Boosa special’’ යන විශේෂ නාමයෙන් හැඳින්විනි.

දුම්රිය සඳහා පෙරදී ඉංග්‍රීසි නම් භාවිත කළද, ලාංකීය ඉතිහාසයේ ප්‍රථම වරට රුහුණු කුමාරි, උඩරට මැණිකේ සහ යාල්දේවී යන නමින් සිංහල නාමකරණයට ලක්වූ තුන් නිවුන් දුම්රිය සොහොයුරියන්ගෙන් ප්‍රථමයෙන්ම ගමනාරම්භයේ යෙදුණේ 1956 දීය. 1955 ඔක්තෝබර් 25 වන දා පළවූ දිනමිණ පුවත් පත “රුහුණු කුමාරි මංගල ශ්‍රීයෙන් ගමන් අරඹයි’’ යන සිරසින් ඒ බව වාර්තා කළේය. එදා සිට අද දක්වා නිරිත දිග මෝසමේදී උස්ව නැගෙන ප්‍රචණ්ඩකාරී මුහුදු රළ පරයා ගමනේ යෙදෙමින් දකුණු ලකට ප්‍රහර්ෂයක් ගෙනා රුහුණු කුමාරි නොබෝදා බෙලිඅත්තට දීග ගිය අතර කෝණ මාසයේ වූ මේ සුබ කටයුත්තට පාට පක්ෂ නොතකා කවුරුත් එක සිතින් සුබපැතිය යුතු වන්නේය.

දිනේෂ් දේවගේ

# අරුණ 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here