කොළඹ 05 ඩඩ්ලි සේනානායක විදුහලේ 41වන වර්ෂ පූර්ණ පිංකම් මාලාව ඇරැඹෙයි…

0
329

හතළිස් එක් වසරක් සපිරෙන – සුපිපි පියුමක් සේ විකසිත
කොළඹ 05, ඩඩ්ලි සේනානායක විද්‍යාලය

නැගෙනහිර කොළඹ ඡන්ද කොට්ඨාසයේ සුපිපි පියුමක් වූ ඩඩ්ලි සේනානායක විද්‍යාලය 1978 අප්‍රේල් මස 03 වෙනිදා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාසගේ සුරතින් සිසුන් 4 දෙනෙකුගෙන් ආරම්භ වූ අතර, ඩඩ්ලි සේනානායක විද්‍යාලයේ ආරම්භක විදුහල්පතිනිය වූයේ එස්.වෙල්ලාලගේ මහත්මියයි. ඇගේ මග පෙන්වීම මත දිනෙන් දින අතු ලියලා වැඩෙන වෘක්ෂයක් සේ පාසැලේ ශිෂ්‍ය සංඛ්‍යාව දිනෙන් දින වර්ධනය වන්නට විය. ශිෂ්‍ය ශිෂ්‍යවන්ගේ වර්ධනය නිසා ම මහල් හතරකින් යුක්ත පුස්තකාල ගොඩනැගිල්ල ද නවීන මහල් තුනකින් යුක්ත පන්ති කාමරය ගොඩනැගිල්ල ද ලැබීම පාසලේ සීඝ්‍ර සංවර්ධනය කියාපාන්නක් විය.
1989 දී විදුහල්පතිනිය වු එස්. වෙල්ලාලගේ මහත්මියගේ විශ්‍රාමයෙන් පසුව තවත් විදුහල්පතිවරු හා විදුහල්පතිනියන් තුන්දෙනෙකු විය. වී. කේ. සි. සිරිතුංග මහත්මිය , එස්. අතාවුද මහතා සහ එන්. එච්.එම්. කුරේ මහතා ඉතා සීමිත කාලයක් පාසලේ විදුහල්පති වරු වශයෙන් කටයුතු කළහ.

ඉන් පසුව 1994 දී විදුහල්පති එස්. ඩි. ජයසිංහ මහතාගේ පැමිණීමත් සමගම විද්‍යාලයේ පුනරුදයක් ඇති වී පාසල ජය මාවතේ ඉදිරියටම ගමන් කළේය. මෙම කාල වකවානුවේ දී දර්ශනීය බුදු මැදුරක් පාසලට ලැබුණු අතර පාසලේ දරුවන් අතර ආගමික ප්‍රභෝදයක් ඒ අනුව පාසැල තුළ ඇතිවිය.

පාසලට යා බද ඉඩම වගුරු බිමක් වූ අතර එම වගුරු බිම පසුකාලයේදී දර්ශනීය ක්‍රීඩා පිටියක් ලෙස එළි දක්වන්නට එස්.ඩි. ජයසිංහ විදුහල්පතිතුමන්ට හැකිවිය. පාසලේ විවිධ ක්‍රීඩා ඉසව් විශේෂයෙන් ක්‍රිකට්,බැට්මින්ටන්,රගර් වැනි ක්‍රීඩා පාසලේ ආරම්භ කෙරෙණි. විශේෂයෙන් වාර්ෂික මහා ක්‍රිකට් තරඟය සි. ඩබ්. ඩබ්. කන්නන්ගර විද්‍යාලය සමඟ ආරම්භ කළේ ද එස්.ඩි.ජයසිංහ විදුහල්පතිතුමාය.

එස්.ඩි ජයසිංහ විදුහල්පතිතුමාගේ දීර්ඝකාලින සේවයෙන් පසුව පි. ඒ. ඩබ්. සමරසිංහ විදුහල්පතිනියගේ පැමිණීමත් සමගම අසම්පුර්ණව තිබු ගෘහවිද්‍යාගාර දෙමහල් ගොඩනැගිල්ලේ ඉහල මහලය සම්පුර්ණයෙන්ම අවසන් කර ගැනීමට එතුමියට හැකිවිය. වසර අටක පමණ සේවා කාලයකින් පසුව පි.ඒ.ඩබ්. සමරසිංහ විදුහල්පතිණියගේ විශ්‍රාමයෙන් පසුව විදුහල්පති ධුරයට පත්වන්නේ පුජ්‍ය උලපනේ සුමංගල ස්වාමින් වහන්සේයි.

පුජ්‍ය උලපනේ සුමංගල ස්වාමින් වහන්සේ පැමිණ පාසලේ අභිමානය ඇතිවන ආකාරයට පාසලේ බාහිර පරිසරය හා භෞතික සම්පත් වර්ධනය කිරීමටත්, විෂය හා විෂය සමගාමී වැඩ සටහන් ව්‍යාපෘති ක්‍රීඩා ව්‍යාපෘති තව තවත් වර්ධනය කරන්නටත් සමත් විය.

මහල් දෙකකින් යුක්ත භාෂාගාරයක්, පරිගණකාගාරයක් ඩඩ්ලි සේනානායක විද්‍යාලයට ලබා ගැනීමට උලපනේ සුමංගල ස්වාමින් වහන්සේට හැකිවිය. “ළඟම පාසැල හොඳම පාසැල” අධ්‍යාපන අමාත්‍යංශය ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිය යටතේ පාසලට විදුහල්පති නිල නිවාසයක් ඉඳි වෙමින් පවතින අතර මුළු පාසල් පද්ධතියම නවීකරණය කිරීමට උලපනේ සුමංගල හිමියන්ට හැකිවිය.

විවධ හේතු නිසා පාසලේ ප්‍රාථමික අංශය වැසී ගොස් තිබු හෙයින් පුජ්‍ය උලපනේ සුමංගල ස්වාමින් වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය හේතු කොට ගෙන සිසුන් 18 දෙනෙකුන් විද්‍යාලයේ ප්‍රාථමික අංශය නැවත ආරම්භ කිරීම විද්‍යාලයේ සිසු වර්ධනයේ ආරම්භය ලෙස සැලකිය හැකය. එය අද පන්ති දෙකක් වශයෙන් ඩඩ්ලි සේනානාය විද්‍යාලයට ලැබීම පාසලේ දියුණුව ප්‍රර්ථනා කරන සියලු සියලු දෙනාගේම අමන්දානන්දයට හේතු වී ඇත. පාසලේ හතර වන ශ්‍රේණිය නතර වී තිබු බැවින් එම ශ්‍රේණිය ද පාසැල තුළ නැවත ආරම්භ කිරීමත් නවීන තාක්ෂණ විද්‍යාගාරයක් සහිත දෙමහල් පරිගනකාගාරයක් විද්‍යාලයට ලබා ගැනීමටත් හැකිවීම සිසු දරුවන් ලැබූ ජයග්‍රහණයකි.
පාසලේ අධ්‍යාපනික වර්ධනය ප්‍රදේශයේ සෙසු පාසල් සමග සංසන්දනය කරන විට ඩඩ්ලි සේනානායක විද්‍යාලය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසල බවට අද පත් වී ඇත. 2015 වර්ෂයේ අ.පො.ස. ස.පෙළ විභාගය සමත් ප්‍රතිශතය 40% ක් වූ අතර 2016 දී 68% ක් දක්වා වර්ධනය කර ගැනීමට ඩඩ්ලි සේනානායක විද්‍යාලය සමත්වී ඇත.

අ.පො.ස. උ.පෙළ 2016 දී වාණිජ අංශය 50% කුත් කලා අංශය 60% කුත් ලබා ගත් අතර එය 2017 දී වාණිජ අංශය 67% කුත් කලා අංශය 88% කුත් ලබා ගැනීම ඉතාම ප්‍රශංසනිය වන අතර දරුවන්ගේ නිර්මාණ කුසලතා එළි දක්වමින් ඔවුන්ගේ නිර්මාණශීලීත්වය වර්ධනය උදෙසා සෑම වසරකම පවත්වන සාහිත රන්කෙත සාහිත්‍ය මහෝත්සවයට සමගාමීව ගද්‍ය, පද්‍ය, කෙටිකථා නිර්මාණ සංග්‍රහ තුනක් නිකුත් කිරීමට හැකි වීම ද සුවිශේෂි කරුණකි.

සෑම දදරුවකුම අනිවාර්යෙන්ම කුමන හෝ ක්‍රීඩාවක නිරත විය යුතු බව රජයේ නියමයි. ඒ අනුව ඩඩ්ලි සේනානායක විදුහලේ සෑම ශිෂ්‍ය ශිෂ්‍යවක්ම පාසැල තුල ක්‍රියාත්මක ක්‍රිකට්,රගර්,කරාතේ වොලිබෝල්,චෙස් යන ක්‍රීඩා වල නිරත වන අතර 2017 වර්ෂයේ දී විශේෂයෙන් රගර්,කරාතේ ක්‍රීඩා සඳහා තරඟ වලින් ජය ගැනීමට ඩඩ්ලි සේනානායක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හැකි වී ඇත. 2018 වර්ෂයේ දී විද්‍යාලයීය 14 න් පහළ රගර් කණ්ඩායම සමස්ත ලංකා මයිලෝ ශූරතාව පාසලට රැගෙන ඒමත් විද්‍යාලයීය ක්‍රීඩා ක්ෂේත්‍රය ලැබූ අනඟිභවනීය සන්ධිස්ථානයක් බවට පත් වී ඇත.2018 වර්ෂයේ දී ඉන්දියාවේ මුම්බායිහි දී පවත්වන ලද කරාතේ තරඟාවලියෙන් ශූරතාවය විද්‍යාලයට ලබා ගැනීම ද විද්‍යාලීය කරාතේ කණ්ඩායම ලැබූ සුවිශේසි ජයග්‍රහණයකි. තව ද වාර්ෂිකව ගල්කිස්සේ ඇතුළත්මුදලි මහ විද්‍යාලයත් සමඟ පවත්වන Battle of the silver and Blue මහා ක්‍රිකට් තරග”යත් විද්‍යාලීය කීර්තිය දසත පතුරුවන්නට සමත් වී ඇත. වසරක් පාසා පවත්වන විද්‍යාලයීය පා ගමන මෙවරත් අති සාර්ථක ලෙස සිසුන්ගේ , ආදිශිෂයන්ගේ,ආචාර්ය මණ්ඩලයේ හා දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට හැකි වීම ඩඩ්ලි සේනානායක විද්‍යාලය ලැබූ ස්වර්ණමය අවස්ථාවක් ලෙස පාසල් ඉතිහාසය තුළ ලිය වී ඇත.

ජාතික මට්ටමේ සහෝදරතත්වයක් සහජීවනයක් සමගියක් සංහිඳියාවක් ඇති කිරීම සඳහා උනන්දුවෙන් කටයුතු කරන විද්‍යාලයේ විදුහල්පති උලපනේ සුමංගල ස්වාමින් වහන්සේ වාර්ෂික තෛපොංගල් උත්සවය හා ඉස්ලාම් දිනය උත්සවාකාරයෙන් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා පාසල් ප්‍රජාව එකමුතු කරගෙන සංවිධානය කරන බැවින් බිම් මට්ටමේ සිට සිසු සිසුවියන් තුල වෙනත් ජාතිකයන් ගැන වෙනත් ආගමිකයන් ගැන තිබෙන අනවබෝධය දුරු වී යටපත් සාමකාමී සහජීවනයෙන් එකමුතුකමින් යුක්ත රටක් හෙට උදාකරන්නට ගන්න උත්සාහයට අනගි සහයක් එයින් ලැබේ.

සෞන්දර්ය අංශය කලා උළෙලට අමතරව ශිෂ්‍ය ශිෂ්‍යාවන් 26 කින් යුක්ත වෙස් කණ්ඩායමක් කලඑළි බැසීම විද්‍යාලයට ආඩම්බරයකි අභිමානයකි.

වර්ෂය පුරාම පසු පෝය පෙර පෝය පිංකම් සංවිධානය කරමින් සිසු සිසුවියන්ට මාසිකව ධර්මානුකූල ජීවිතයකට කුඩා කල සිට පුරුදු පුහුණු කිරීමත් වෙසක් උත්සවය සහ පොසොන් උත්සවය සැදැහැ ගීත ඉදිරිපත් කිරීම හා දරුවන් විසින් අඳින ලද සැදැහැති සිතුවම් ප්‍රදර්ශනය තුළින් මනා ශික්ෂණයකින් යුක්ත ගුණ නැණ ඇති පරපුරක් ජාතියට දායාද කරන්නට ඩඩ්ලි සේනානායක විද්‍යාලයේ විදුහල්පති ස්වාමීන් වහන්සේ කටයුතු කිරීම මහගු කාර්යයකි.

විද්‍යාලය විෂය බාහිර ක්‍රියාකාරකම්වලින් ප්‍රදේශයේ පාසල් අතර ප්‍රමුඛස්ථානයක් ගනී. වාර්ෂික තරු කඳවුර, පා ගමන, පරිගණක ගුරු පුහුණු සැසි, දෙමාපිය උපදේශන සැසි ආදී නොයෙකුත් ක්‍රියාකාරකම් රැසක් ඩඩ්ලි සේනානායක විද්‍යාලය තුළ ක්‍රියාත්මක වේ. ඩඩ්ලි සේනානායක විදුහල් මාතාව පින්කාරී තත්වයට පත්ව ඇත්තේ එහි ඇති අභිමානවත් නායකත්වයෙනි. වසර පුරාම ක්‍රියාත්මක වැඩ සටහන් පෙළ ගස්වා ඇති අතර ඒවා ක්‍රියාත්මක භාවය පිළිබද හා ගුණාත්මක භාවය පිළිබද විදුහල්පති ස්වාමීන් වහන්සේ නිතර ම දැඩි විමසිල්ලෙන් සහ සෝදිසියෙන් නිරීක්ෂණය කිරීම ඩඩ්ලි සේනානායක විද්‍යාලයීය නාමය තවත් බබළවමින් ඉදිරියට යාමේ රහසයි.

මේ මොහොත් 41 වසරක අභිමානය අති මහත් ආඩම්භරයකින් සිහිපත් කරන ඩඩ්ලි සේනානායක ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා ආදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෙමාපියන් ගුරුවරුන් පාසල් ප්‍රජාව සාංවත්සරික උත්සවයේ ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරන අතර ආගමික උත්සවය වශයෙන් 2019.04.04 වන දින උදෑසන පිරිත් දේශනයක් පවත්වා එදිනම දහවල් 41 නමක් මහා සංඝ රත්නය උදෙසා අෂ්ට පරිස්කාරය සමග මහා සාංඝික දානයක් පැවැත්වීමට ද මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here