මහ බැංකු බැඳුම්කර මහ මොළේ අත්අඩංගුවටගැනීමේ සූදානමින් අංශ කිහිපයක් සීරුවෙන්…

0
121

ප්‍රජාතන්ත්‍රවාදය හා යුක්තිය ඉල්ලා මොර දුන් සටන්පාඨ මුවවිට පඬුරු පාක්කුඩම් ලමින්, ඡන්දදායකයා ද අන්දමන්ද කරවමින් පවතින යුගයක මැතිවරණ යනු තවත් වචනයක් පමණක් වී ඇත. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා මොර දුන් මුවෙහි තනතුරු මී ගිල්වා නිහඬකරවා තිබේ. එනයින්, ප්‍රජාතන්ත්‍රවාදීව පැවැත්විය යුතු මැතිවරණ රැසක් අත්තනෝමතිකව කල් දමා ඇත. එහෙත් මේ වසර (2019) අවසානයේ කුමන හෝ මැතිවරණයක් සම්ප්‍රාප්තවීමේ ඉඩ ඇහිරිය නො හැකි බව දැනට පැහැදිලිව ඇත. එය ද අමන හා පෙර නොවූ විරු පරිදි වෙනස් වූවත් පුදුම විය යුතු ද නැත.

මේ මැතිවරණ අතරින් කුමක් පැවැත්වුව ද, එය පාලක පක්ෂයේ සුබසෙත පිණිසි වන පස්මහබැලුම්වලට යටත්ව සිදුවනු ද නොඅනුමාන ය. අදට විද්‍යාමාන වන ප්‍රධාන පාලක පක්ෂය එක්සත් ජාතික පක්ෂය වුව ද, ජනාධිපති සිරිසේන ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද තවත් කොටසක පාලනයට හිමිකම් කියමින් සිටීම වත්මන් අර්බුදය කෙලෙසක විසඳේවි ද..? යන පැනයට පූර්වාදර්ශ නොසපයයි. මේ තත්ත්වය හමුවේ ඒකාබද්ධ විපක්ෂය ඇතුළු රාජපක්ෂ පාර්ශවයේ ආශීර්වාදයට නතුවූ කණ්ඩායමේ ද හැසිරීම උච්චාවචනය වන බවක් පෙන්නුම් කරයි.

මේ අතර ප්‍රධාන විපක්ෂයේ පිරිසක් රාජපක්ෂ පවුලේ තේරීම දෙස නෙත් යොමා සිටින‘තර, රාජපක්ෂ පවුල සමඟ පෑහීම කඩතොළු කරගෙන සිටින සිරිසේන පාර්ශවයේ පිරිසක් ද තම තේරීම උලුප්පමින් සිටී. මේ තත්ත්වය ද්වන්ධ සටන් මගකට නො පිවිස ඇත්තේ 2018 පෙබරවාරි 10 වන දින පුංචි ඡන්දයේ ප්‍රතිඵලයේ ඇති බැරෑරැම්කම නිසා විනා අන් කිසිදු බලපුළුවන්කාරකමක් නිසා නොවේ.

මේ හේතුවෙන් බැසිල් රාජපක්ෂ මහතාගේ පරිණත දේශපාලන විඥානයට අභියෝග කරන්නට කිසිවෙකුත් එළිපිට නොයන පසුබිමක් ද නිතැතින් නිර්මාණය වී ඇත. එමෙන් ම බැසිල් රාජපක්ෂට අලගු තියන්නට සමත් කිසිවෙකුත් මේ කිසිදු පාර්ශවයකින් අදට සාපේක්ෂව සොයාගැනීමටවත් නො හැකිවීම බැසිල් රාජපක්ෂ සාධකය ප්‍රබල වීමට හේතුවකි. ඒ අනුව බැසිල් රාජපක්ෂ නෙළුම් මාවත කාර්යාලයේ නිහඬව සිටියත් එය දැවැන්ත චරිතයක් සේ තවත් කලක් යහතින් වැජඹෙනු ඇත.

මේ සියල්ල අභිමුව වුව ද, සිරිසේන පාර්ශවයේ රාජපක්ෂ විරෝධී පිලට තවමත් තුරුම්පු කිහිපයක් ඉතිරිව ඇත. ඒවා ද එසේ මෙසේ තුරුම්පු නො වේ ය. එක තුරුම්පුවකින් මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ විපක්ෂ නායකකමට තට්ටු කළ හැකි ය. ඉන් ද නො නැවතී මන්ත්‍රීකමට ද තට්ටු කළ හැකි ය. මේ දෙකෙන් එකක් කෙටි කලක් තුල දී කළ හැකි ය. එය නම් විපක්ෂ නායකකමට කෙළවීම ය. යම් හෙයකින් එසේ වුව හොත්, විපක්ෂ නායකත්වය යළි හිමිකරගන්නා පාර්ශවය පිළිබඳ පුවත ශ්‍රී ලාංකේය සමාජයේ බහුතරයට දනවන සංවේදීතාව සැලකිල්ලට ගතහොත් එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද විරෝධීන්ට ඉතා කෙටි කලක් තුල දී අප්‍රසන්න ප්‍රතිපල ගෙන දෙනු ද ඇත.

ඒ කෙසේ වෙතත්, රැවුලත් කැඳත් දෙක ම බේරාගෙන යම් ප්‍රාතිහාර්යයක් පෑ හැක්කේ නම් ඒ වත්මන් ආණ්ඩු පක්ෂයේ ජනප්‍රිය තේමාවන් පරාජයට පත්කරමින් ඉදිරිය රැකගැනීමට ගන්නා වූ පියවර කිහිපයකි. ඉන් එකක් ලෙස දැනටමත් තම මේසය මත ඇති මහ බැංකු තුරුම්පුව ඇදීමේ විශාල අවස්ථාවක් ඔවුන් සතුව ඇත. එය ඒකාබද්ධ විපක්ෂය ප්‍රධානව එජාප විරෝධී සමස්තයට ම යම් ප්‍රාණ වායුවක් වනු ඇත.

වටින් ගොඩින් පැතිරයන ආරංචිවලට අනුව, මහ බැංකු බැඳුම්කර සිදුවීමට අදාලව ප්‍රබල සාක්ෂි ඇති ප්‍රබල චරිත කිහිපයක් නීතීයේ රැහින්වලින් තව දුරටත් බැඳ දමමින් ඉදිරිය දැකීමට ජනාධිපතිවරයාගේ පාර්ශවය කටයුතු කරමින් සිටියි.

මේ මහ බැංකු සිදුවීම් සමුදායේ මහ මොළකරු වන රනිල් වික්‍රමසිංහ සිය දේශපාලන හා සියලු හිතෛෂී බලය උපයෝගීකරගෙන බැඳුම්කර කොමිසමේ සාක්ෂි දීමේදී ද ගැලවිජ්ජා පසුබිමක් නිර්මාණය කරගත්ත ද, මේ වනවිට දේශපාලන බිම ඇතිවී තිබෙන වෙනස්කම් හමුවේ යහතින් කල් ගෙවීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇත යන්න ඇතැමුන්ගේ මතයයි. මේ අනුව රනිල් වික්‍රමසිංහ ට මහ බැංකු සිදුවීමේ ඉදිරි කටයුතු වෙනුවෙන් යම් පීඩනයන්ට ලක්වීමට සිදුවනු ඇත යන්න ඉන් ගම්‍ය වෙයි.

එයට පෙරහුරුවක් ලෙස, මහ බැංකු සිදුවීම් ඔස්සේ නම කියැවුණු තවත් ප්‍රබල දේශපාලන චරිතයක් අත්අඩංගුවට ගෙන, දෙවන පියවර ලෙස රනිල් වික්‍රමසිංහට එරෙහි පියවර ගැනීම වඩා උචිත යැයි ඇතැමුන් කළ පැහැදිලිකිරීම් හමුවේ ආරක්ෂාවේ නියමුවන් පියවර ගනු ඇති බවට ද ඊයේ (2019 මාර්තු 28) වනවිට අපගේ තොරතුරු මූලාශ්‍රයන් හි ද කතාබහට ලක්වෙමින් තිබුණි.

මේ සැකයන්ට හා කතා බහට තටු ලබා දෙන්නට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ප්‍රබල මන්ත්‍රීවරුන්ගේ කතාබහ ද ඉවහල් වී ඇති බවක් ද පෙනෙයි. මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා ඊයේ (2019 මාර්තු 28) මාධ්‍ය හමුවක දී පවසා සිටියේ, මහ බැංකු බැඳුම්කර සිදුවීමට අදාලව දේශපාලන ප්‍රබලයින් කිහිප දෙනෙක් ඉදිරියේ දී අත්අඩංගුවට ගැනීමට නියමිත බව යි. මේ කතා ආවාට ගියාට සිදුකරන ඒවා නොවිය හැකි ය. එමෙන් ම ආවාට ගියාට කතා කොට විහිළුවක් බවට පත්ව සිටින මෛත්‍රීපාල සිරිසේන පාර්ශවයට ද මෙය කදිම අවස්ථාවක්වනු ඇත. කෙසේ වෙතත්, යහපාලනය නාමයෙන් බලයට පැමිණි සිරිසේන ජනාධිපතිවරයාට මේ මොහොතේ රට වෙනුවෙන් විශාල කාර්යයක් සිදුකිරීමට ඉතිරිව ඇත. එය ඓතිහාසික මෙන් ම තීරණාත්මක බව ලොවට සනාත කරන්නටත්, රටට යහපැවැත්මක් උදාකරන්නටත් ඉවහල් කරගත හැකි ය.

ඒ කෙසේ වෙතත්, ඊයේ දිනයේ දී රජයේ වැදගත් අමාත්‍යවරු දෙදෙනෙක් ගේ වැය ශීර්ෂ පරාජයට පත්කිරීමත් සුළුකොට තැකිය හැකි නොවේ ය.

ඊයේ පරාජයට පත් කළ අමාත්‍යාංශ අයත් වූයේ වජිර අබේවර්ධනට සහ චම්පික රණවකට ය. මේ අතරින් පා ච රණවකගේ අමාත්‍යංශය ද රජයක් ලෙස වැදගත් කාර්යයන් රැසකට මුල්වන අමාත්‍යාංශයකි. එසේ වුවත් එක්සත් ජාතික පෙරමුණ නම් වූ සාමූහිකය තුල මෝදුවෙමින් පැවැති බවට අපට ඉඟි ලැබී තිබුණු කාරණා ගණනාවක් හේතුවෙන් චම්පිකට පාඩමක් ඉගැන්වූ සෙයක් මේතුලින් දැකගත හැකි ය. වජිරට වයේ කුමක් දැයි ඒ අනුව තවත් පැනයකි. ඇතැමෙක් මේ සිදුවීම අපට විග්‍රහ කළේ, “.. චම්පිකට ටොක්කක් ඇනලා එනතුරු වජිර පොඩ්ඩක් හිටු..” ලෙස මේ දෙක ම පරාජයට පත් වන තැනට එජාප නායකත්වයේ සිට සියලු කරුණු පෙළගැස්වී ඇති බවයි. ඒ අනුව චම්පිකට දැනවීම වෙනුවෙන් මොහොතකට ඇම කෑමට වජිර අබේවර්ධනට සිදුවී ඇති සැටියෙකි.

ඒ සිදුවීම් හා අනාගත දේශපාලන පෙරළි අතර සහ සම්බන්ධය කෙතරම් සියුම්ව විග්‍රහ කරගත යුතු ද..?

සැඟවුණු යටි අරමුණු එසේ වන්නේ නම්, මේ මොහොතේ වැය ශීර්ෂය හරහා බිල්ලට ගිය වජිරට වඩා දරුණු දන්දීමක් සිදු කළේ රවී කරුණානායක හිටපු මුදල් ඇමතිවරයා ය. එහෙත් ඔහුට පමා වී ලැබුණු අමාත්‍යාංශය තුලින් ද යළිත් ඔහුට තවත් දරුණු අභියෝගයකට මුහුණ දීමට සිදුවෙමින් සිටින කාල වකවානුවක තවත් ගැහැට විඳින්නට සිදුවන්නේ නම් එය කෙතරම් බැරෑරුම් අද්දැකීමක් වනු ඇද්ද..?

මේ සියලු කරුණු හමුවේ, ශ්‍රී ලාංකේය ජාතියට යහපත් හෙටක් උරුම ද නැද්ද යන්න තීරණය වන මාස කිහිපයක මුව විට අප කල් ගෙවන බව නම් සැබෑ ය.

# සටහන :
ජනිත් විපුලගුණ
Janith Vipulaguna

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here