සජිත් ගේ නිවාස සංවර්ධනයේ BMW මාදිලිය මෙන්න..!

0
302

BMW යනු ලෝකයේ තිබෙන සුඛෝපභෝගී මෝටර් රථ වර්ගයකි. ඒ අනුව BMW යනු වෙළෙඳ සන්නාමයකි. පුද්ගලයකුගේ නමට මුලින් ද මේ අකුරු තුන තිබිය හැකි ය. ඒ ඔහුගේ වාසගමට ඇතුළත් වචනවල මුල් අකුරු වශයෙනි. එහෙත් BMW යන සන්නාමයෙන් පුද්ගලයකු හඳුන්වනවා යැයි කිව හොත් ඔබට පිළිගත හැකි ද? පුද්ගලයකු හැඳින්වීම සඳහා සන්නාමයක් යෙදිය නොහැකි යැයි ඔබ එකහෙළා ම පවසනු ඇත. එහෙත් එවැනි එක ම එක පුද්ගලයෙක් අපේ රටේ සිටී. ඒ පුද්ගලයා නම් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වර්තමාන සභාපති ලක්විජය සාගර පලන්සූරියයි. ඔහුට BMW යන සන්නාමය ලබා දී ඇත්තේ නිවාස අධිකාරියේ සේවකයන් විසිනි. සේවකයන් කියන අන්දමට ඒ සන්නාමය සෑදී ඇත්තේ බොරුව, මුලාව, වංචාව යන වචන තුනේ මුල් අකුරුවලිනි. (Boruwa, Mulawa, wanchawa) සේවකයන් කියනා අන්දමට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉතිහාසය වැසී ඇත්තේ බොරුව, මුලාව සහ වංචාවෙනි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යනු ජාතියට නිවාස සැපයීම සඳහා පිහිටුවන ලද රාජ්‍ය ආයතනයයි. 1979 අප්‍රේල් 01 දා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය බවට පත් කරන ලද්දේ කලින් පැවැති නිවාස දෙපාර්තමේන්තුවයි. එවකට සිටි අගමැති ආර්. ප්‍රේමදාස විසින් මෙසේ නිවාස දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත් කරන ලද්දේ ඊළඟ ජනාධිපතිවරයා වීමේ සිහිනය සැබෑ කර ගැනීම සඳහා වූ තම දේශපාලන ගමන වෙනුවෙනි. ආරම්භයේ සිට ම නිවාස අධිකාරිය තනිකර ම දේශපාලන ආයතනයක් වූ බව එහි ඉතිහාසය විමසා බලන විට පැහැදිලි වේ. එදා සිට ම බොරුව වැපිරීම නිවාස අධිකාරියේ ප්‍රධාන කටයුත්තක් වී ඇත. එය සනාථ කෙරෙන ප්‍රධාන සාධකය වන්නේ ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ නිවාස වැඩසටහනයි.

ආර්. ප්‍රේමදාස නාමය සමඟ බැඳුණු ප්‍රසිද්ධ ම බොරුව වන්නේ ඔහු ජනතාවට නොමිලේ නිවාස ලබා දුන්නේ ය යන්නයි. කලාතුරකින් ඔහුගේ දේශපාලන වුවමනාව මත ගෙයක් දෙකක් නොමිලේ දී ඇති නමුත් නිවාස අධිකාරිය නොමිලේ නිවාස ලබා දී නැත. අද මෙන් ම එදා ද නිවාස ලබා දී ඇත්තේ ණය පදනමිනි. එදා නිවාස ලබා ගත් සමහරු අද දක්වා ම නිවාස අධිකාරියට නිවාස ණය ගෙවමින් සිටිති.

ආර්. ප්‍රේමදාස නම් දේශපාලනඥයාගේ නාමය සමඟ බැඳුණු ඊළඟ බොරුව වන්නේ ඔහු නිවාස ලක්ෂ ගණනින් ඉදි කර දුන්නේ ය යන්නයි. ඔහු පළමු ව ‘නිවාස ලක්ෂයේ වැඩසටහන’ ආරම්භ කළේ ය. දෙවනුව ‘නිවාස දස ලක්ෂයේ වැඩසටහන’ ආරම්භ කළේ ය. තුන් වනුව ‘නිවාස පහළොස් ලක්ෂයේ වැඩසටහන’ ආරම්භ කළේ ය. මේ ලක්ෂ ගණන් ඇත්ත නම් ඔහුගේ කාලයේ අඩු ම වශයෙන් නිවාස විසිහය ලක්ෂයක් ඉදි කර තිබිය යුතු ය. එහෙත් මේවා ඉලක්කම් පමණි. නිවාස ලක්ෂ විසි හයක් මේ මහ පොළොවේ නම් ඉදි වී නැත. මේ නිවාස වැඩසටහන ගැන පරීක්ෂණයක් කළ හොත් ඇත්ත වශයෙන් ම අඩු තරමින් නිවාස ලක්ෂයක් වත් ඉදි කර තිබේ ද යන්න නිවාස අධිකාරියේ සංඛ්‍යා ලේඛනවලින් ම සනාථ කර ගත හැකි වනු ඇත. (ප්‍රේමදාස ජනාධිපතිවරයාගෙන් පසු බලයට පත් වූ නායකයන්ට අවශ්‍යතාවක් තිබුණේ නම් මේ මහා වංචාව අනාවරණය කර ගත හැකි ව තිබුණේ ය.)

නිවාස අධිකාරිය එදා කළ වංචාව අදත් එසේ ම කරමින් සිටී. එදා ඒ වංචාව කළ නායකයාගේ පුතා අද නිවාස අධිකාරිය භාර ඇමැතිවරයා ය. එදා නායකයාගේ දේශපාලන ප්‍රතිරූපය ගොඩනැංවීම සඳහා කළ බොරුව ම අද නායකයාගේ දේශපාලන ප්‍රතිරූපය පිම්බීම සඳහා උපයෝගී කර ගනිමින් තිබෙන බව කනගාටුවෙන් වුවත් කීමට සිදු වී තිබේ. එහෙත් වෙනසක් ඇත. එදා නායකයා තම දේශපාලන ගමන වෙනුවෙන් නිවාස අධිකාරියේ වැදගත්කම දැන සිටි හෙයින් එය ශක්තිමත් කිරීමට කටයුතු කළේ ය. අද නායකයා තම දේශපාලන ගමන සඳහා නිවාස අධිකාරිය යොදා ගනිමින් සිටින්නේ එය ශක්තිමත් කරමින් නොව එහි සාරය උරා බොමින් බව කරුණු විමසා බලන විට පෙනේ. ඒ විනාශයේ ප්‍රධාන වැඩ කොටස ඉටු කරන්නේ අධිකාරියේ වර්තමාන සභාපතිවරයා බව සේවකයෝ පවසති.

සේවක සුබසාධක සංගමයේ අරමුදලින් රුපියල් ලක්ෂ හැට අටක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සේවයෙන් පහ කර සිටි පුද්ගලයකු වන ග්‍රේෂන් පෙරේරා එහි ජාතික සේවක සංගමයේ වර්තමාන ලේකම්වරයා ය. දේශපාලන චණ්ඩින්ගේ නායකයා වන ඔහු ආයතනය තුළ ත්‍රාඩයකු සේ හැසිරෙමින් ප්‍රසිද්ධියේ සේවකයන්ට තර්ජනය කරන බවත් සංගමයේ සභාපති රොෂාන් පෙරේරා සහ වජිර වසන්ත ඔහුගේ අගසවු දෙදෙනො බවත් සේවකයෝ පවසති. ලක්ෂ හැට අටේ වංචාව නිසා ආයතනයෙන් නෙරපා සිටි ග්‍රේෂන් පෙරේරා 2015 යහපාලන ආණ්ඩුව බලයට පත් වූ වහා ම ආපසු සේවයට කැඳවා හිඟ වැටුප් ද ලබා දී උසස්වීම් ද ලබා දීමට අමතර ව අතිවිශාල වන්දි මුදලක් ගෙවීමට ද ඇමැතිවරයාගේ උපදෙස් පරිදි වර්තමාන සභාපතිවරයා ක්‍රියා කළ බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සුරැකීමේ සංවිධානයේ ලේකම් අරුණ ප්‍රියදර්ශන අප සමඟ ප්‍රකාශ කළේ ය.

නිවාස අධිකාරියේ සභාපතිවරයා පසුගිය සතියේ මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේ සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාගේ ‘සැමට සෙවණ’ නිවාස වැඩසටහන යටතේ 2015 සිට මේ වන තෙක් නිවාස නැති පවුල් ලක්ෂයකට අධික සංඛ්‍යාවකට නිවාස ලබා දීමට පියවර ගෙන ඇති බවයි. එහෙත් එය සම්පූර්ණ බොරුවකි. ‘සැමට සෙවණ’ නිවාස වැඩසටහන යටතේ 2015 සිට මේ දක්වා විවෘත කර ඇති උදාගම් සංඛ්‍යාව 160කි. එක ගමක නිවාස සංඛ්‍යාව 25ක් ඉදි වෙයි. ඒ අනුව උදාගම් 160හි මුළු නිවාස සංඛ්‍යාව 4000කි. ඇතැම් උදාගමක නිවාස සංඛ්‍යාව 25කට වැඩි ය. ඊට අමතර ව වෙනත් නිවාස ණය ද සුළු සංඛ්‍යාවක් ලබා දී ඇත. ඒ සියල්ල සලකා බැලුව ද 2015 සිට මේ දක්වා ඉදි කර ඇති නිවාස සංඛ්‍යාව 4000ත් 6000ත් අතර වෙයි. ඒ අනුව නිවාස අධිකාරිය 2015 සිට මේ දක්වා වසරකට ඉදි කර ඇත්තේ 1500කටත් වඩා අඩු නිවාස සංඛ්‍යාවකි. නිවාස අධිකාරියේ සභාපතිවරයා කියන අන්දමට මේ නිවාස සංඛ්‍යාව තුළ පවුල් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් පදිංචි කර ඇතුවා විය යුතු ය.

සභාපතිවරයා කියන මේ බොරුව කොපමණ විශාල දැයි බලා ගත හැකි උදාහරණයයි මේ. සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාත් නිවාස අධිකාරියේ සභාපතිවරයාත් මහා උජාරුවෙන් පවසන්නේ 2020 වසර වන විට උදාගම් 2500ක් ඉදි කිරීම ‘සැමට සෙවණ’ නිවාස වැඩසටහනේ ඉලක්කය බවයි. දැන් ඒ උජාරු ඉලක්කය අනුව බැලුව හොත් එක ගමකට නිවාස 25 බැගින් උදාගම් 2500ට ම ඉදි කෙරෙන නිවාස සංඛ්‍යාව 62500කි. පවුල් ලක්ෂ ගණනාවක් පදිංචි කිරීමට ඇමැතිවරයා බලාපොරොත්තු වන්නේ මේ නිවාස 62500 තුළ ද? අඩු තරමින් පවුල් ලක්ෂයක් වත් නිවාස 62500ක් තුළ පදිංචි කළ හැකි ද? අනික් අතට ඒ වෙනුවෙන් වැය කරන අති විශාල මුදල් සම්භාරය අනුව එහි ඇති පලදායකත්වය කුමක් ද?

පසුගිය වසර හතර තුළ දී නිවාස අධිකාරිය පවත්වා ගෙන යෑම සඳහා පමණක් දරන ලද වියදම රුපියල් මිලියන 19200කි. එනම් රුපියල් කෝටි 1920කි. නිවාස ණය දීම සඳහා වැය කළ මුදල මීට ඇතුළත් නොවේ. රුපියල් කෝටි 1920ක වියදම යනු වැටුප් ගෙවීම, විදුලිය සහ ජල බිල්පත් ගෙවීම, ඉන්දන පිරිවැය ආදී වශයෙන් දැරූ පුනරාවර්තන වියදමයි. ඒ වියදම දරමින් පසුගිය වසර හතර තුළ ඉදි කර ඇති නිවාස සංඛ්‍යාව 6000කටත් අඩු ය. නිවාස ණයක් නිකුත් කිරීමෙන් පසු ව නිවස ඉදි කර ගන්නේ ඒ ණයලාභියා වන අතර ඒ සඳහා නිවාස අධිකාරියට වෙනත් වියදමක් දරන්නට සිදු නොවේ. එහෙත් නිවාස අධිකාරිය පවත්වා ගෙන යෑම සඳහා දරන්නට සිදු වන වියදම සැලකීමට සිදු වන්නේ ද නිවාස ඉදි කිරීමේ වියදමක් වශයෙනි. ඒ අනුව පුසගිය වසර හතර තුළ දී නිවාස 6000ක් ම ඉදි කළේ යැයි උපකල්පනය කළ ද එක නිවසක් ඉදි කිරීම සඳහා නිවාස ණය මුදලට අමතර ව නිවාස අධිකාරිය වියදම් කර ඇති මුදල රුපියල් තුන් ලක්ෂ විසිදාහක් පමණ වෙයි. මෙය කොතරම් විශාල මුදලක් ද යන්න වටහා ගත හැක්කේ කලින් ඒ සඳහා දැරූ පිරිවැය සමඟ සසඳා බලන විට ය. කලින් සිටි නිවාස අමාත්‍යවරයාගේ කාලයේ දී එක නිවසක් ඉදි කිරීමේ දී නිවාස අධිකාරිය දරා ඇති පිරිවැය රුපියල් 22000ක් (විසිදෙදාහක්) පමණි.

එක නිවසක් ඉදි කිරීම සඳහා නිවාස අධිකාරිය දරන පිරිවැය රුපියල් විසිදෙදාහේ සිට රුපියල් තුන් ලක්ෂ විසිදාහක් දක්වා වැඩි වූයේ ඇයි? ඊට ප්‍රධාන හේතු දෙකකි. ඉන් පළමු වැන්න අනවශ්‍ය තරම් සේවක සංඛ්‍යාවක් අලුතින් බඳවා ගැනීමයි.

සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා විසින් කිසිදු වගවිභාගයකින් තොර ව කරන ලද පත් කිරීම් නිසා මේ වන විට නිවාස අධිකාරියේ සේවක සංඛ්‍යාවේ විශාල අතිරික්තයක් පවතී. රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවලට නියමිත සේවක සංඛ්‍යාව අනුමත කරනු ලබන්නේ මුදල් අමාත්‍යාංශය යටතේ ඇති කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසිනි. 2019 ජනවාරි 04 දා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් නිවාස අධිකාරියට අනුමත කරන ලද සේවක සංඛ්‍යාව 2164කි. පසුගිය දාක නිවාස අධිකාරිය සුරැකීමේ සංවිධානය නැඟූ චෝදනාවලට පිළිතුරු දීම සඳහා අධිකාරියේ සභාපති පලන්සූරිය විසින් කැඳවූ මාධ්‍ය හමුවේ දී ඔහු ප්‍රකාශ කළ පරිදි නිවාස අධිකාරියේ වර්තමාන සේවක සංඛ්‍යාව 4700ක් පමණ වෙයි. ඔහු කියන 4700 සැබෑ සංඛ්‍යාව යැයි සැලකුව ද සේවක සංඛ්‍යාවේ අතිවිශාල අතිරික්තයක් පවතී. මේ සියල්ල නීති විරෝධී පත්වීම් ය. 2015 සිට මේ දක්වා නිවාස අධිකාරියට බඳවා ගෙන ඇති පිරිස 4000කට අධික ය.

‘උස නම් සිකුරිටි මිටි නම් කම්කරු’ ප්‍රතිපත්තිය යටතේ රැකියා දීම ගැන ප්‍රසිද්ධියට පත් වූ සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා නිවාස අධිකාරියට බඳවා ගෙන ඇති 4000කට අධික වූ සියලු දෙනා ම පාහේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් වීම විශේෂ කාරණයකි. එහි දී ද ප්‍රෝඩාවක් අනුගමනය කර තිබේ. බඳවා ගෙන ඇති සියලු දෙනා හම්බන්තොට දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් වුවත් ඔවුන් වැඩි දෙනකුගේ රැකියා අයැදුම් පත්‍රයේ සඳහන් කර ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පිට ලිපිනයකි. ඒ පිළිබඳ ව ඔවුන්ගෙන් විමසූ විට දැන ගන්නට ලැබුණේ ‘ගරු ඇමැතිතුමාගේ උපදෙස් අනුව එසේ පිට පළාතක ලිපිනයක් සොයා ගත් බව’යි. මෙසේ බඳවා ගත් අය අතරින් ඇතැමකු උපාධිධාරීන් වුවත් වැඩි දෙනකුට සැලකිය යුතු තරම් අධ්‍යාපන සුදුසුකම් නැත. තරුණයන්ට රැකියා දීම හොඳ වැඩක් බව සැබෑ ය. එහෙත් ආයතනයක පැවැත්මට හානියක් වන තරමට අතිරික්ත සේවක පිරිසක් බඳවා ගැනීම එක් අතකින් අපරාධයකි. අනික් අතින් ඔළමොට්ටලකමකි.

මේ බඳවා ගැනීම් ගැන අපූරු විස්තරයක් නිවාස අධිකාරියේ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලයෙන් වාර්තා වෙයි. 2015 යහපාලන ආණ්ඩුව බලයට එන විට හම්බන්තොට කාර්යාලයේ සිටියේ 100කටත් වඩා අඩු සේවක සංඛ්‍යාවකි. 2015 සිට ඇමැතිවරයා විසින් දිගින් දිගට ම සේවකයන් බඳවා ගන්නා අතර පසුගිය ජනවාරි 31 දා වන විට එහි ස්ථිර සහ කොන්ත්‍රාත් පදනමින් සිටින සේවක සංඛ්‍යාව 1164ක් විය. මීට අමතර ව පුහුණුලාභීන් වශයෙන් බඳවා ගත් තවත් පිරිසක් හම්බන්තෝට කාර්යාලයට අනුයුක්ත ව සිටිති. අලුතින් බඳවා ගත් පිරිසට සේවයට වාර්තා කිරීම සඳහා අපූරු ක්‍රමවේදයක් සකස් කර දී තිබේ. මේ පිරිස කොටස් පහකට බෙදා ඇත. මේ එක් පිරිසක් කාර්යාලයට පැමිණිය යුත්තේ සතියකට එක් දවසක් පමණි. ඒ ක්‍රමවේදය හඳුන්වා දී ඇත්තේ 100කට ප්‍රමාණවත් කාර්යාලය තුළ ඔවුන්ට හිට ගෙන ඉන්නට හෝ ප්‍රමාණවත් ඉඩක් නැති බැවිනි. ඔවුන් සියලු දෙනා ම කාර්යාලයට එන එක ම දවස පඩි දෙන දවසයි. (හම්බන්තොට මූලික රෝහලේ මුළු කාර්ය මණ්ඩලය 1124කි. හම්බන්තොට දිසාලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය 387ක් පමණි.)

එක නිවසක් ඉදි කිරීම සඳහා නිවාස අධිකාරිය දරන පිරිවැය රුපියල් විසිදෙදාහේ සිට රුපියල් තුන් ලක්ෂ විසිදාහක් දක්වා වැඩි වීමට අනික් හේතුව නම් උදාගම් විවෘත කිරීමේ උත්සවවල දී ඇමැතිවරයාගේ ප්‍රතිරූපය පිම්බීම සඳහා දරන අතිවිශාල ප්‍රචාරක වියදමයි. මේ සඳහා දරන පිරිවැය අදහා ගන්නට නොහැකි තරම් විශාල ය. ඒ සම්බන්ධයෙන් මේ වන විට රට පුරා ආන්දෝලනයට ලක් වී ඇති පුවත වන සමරු ඵලක සඳහා දරන අධික වියදම ගැන නිවාස අධිකාරියේ සභාපතිවරයා අදාළ මාධ්‍ය හමුවේ දී අමූලික බොරුවක් ඇදබෑවේ ය. ඔහු එහි දී කියා සිටියේ සමරු ඵලකය සඳහා වියදම් වන්නේ රුපියල් පන්දහසක තරම් සුළු මුදලක් බවයි. එහි ඇත්ත විස්තරය මෙසේ ය. සමරු ඵලක සවි කිරීම සඳහා ඉදි කෙරෙන පුවරුවට පමණක් දරන වියදම රුපියල් 225,000ක් (දෙලක්ෂ විසි පන් දහසක්) පමණ වෙයි. මේ සඳහා එතරම් මුදලක් වියදමි නොවන අතර එය ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ජාතික සේවක සංගම් සභාපති වජිර වසන්තට ලබා දී ඇති ආදායම් මාර්ගයකි. මෙතරම් අධික මුදලක් වැය කර ඉදි කෙරෙන පුවරුවේ අදාළ ගම්මානය විවෘත කිරීමේ විස්තරය ඇතුළත් ග්‍රැනයිට් ඵලක තුනක් සවි කරනු ලැබේ. මේ එක් ඵලකයක වියදම රුපියල් 25,000 (විසිපන් දහස.)කි. ඵලක තුන සඳහා මුළු වියදම රුපියල් හැත්තෑපන් දහස ද එකතු වූ විට සමස්ත සමරු ඵලකය සඳහා වැය කෙරෙන සම්පූර්ණ මුදල රුපියල් තුන් ලක්ෂයකි. ඒ අනුව මෙතෙක් විවෘත කළ ගම්මාන 160හි සමරු ඵලක සඳහා පමණක් නිවාස අධිකාරිය රුපියල් කෝටි පහකට ආසන්න මුදලක් (හාරසිය අසූ ලක්ෂයක්) වැය කර තිබේ.

2015 ජනවාරි සිට 2018 මැයි 31 දක්වා උදාගම් 95ක් විවෘත කිරීමේ උත්සව පිළිබඳ ව ප්‍රචාරය කිරීමට පුවත්පත් දැන්වීම් පළ කිරීම සඳහා පමණක් රුපියල් 150,875,727ක (පහළොස් කෝටි අට ලක්ෂ හැත්තෑපන් දහස් හත්සිය විසි හතක්) මුදලක් නිවාස අධිකාරිය විසින් වැය කර තිබේ. උදාගමක් විවෘත කෙරෙන සෑම අවස්ථාවක ම පිටු භාගයක පුවත්පත් දැන්වීමක් පුවත්පත් ගණනාවක පළ කරනු ලැබේ. එයින් වාසි දෙකක් ඇමැතිවරයා අත් කර ගනී. එක වාසියක් තමාගේ දේශපාලන ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීම සඳහා ලැබෙන ප්‍රචාරක වාසියයි. දෙවැන්න නම් පුවත්පත්වල තමාට සහ තම අමාත්‍යාංශයට අවාසිදායක වන පුවත් පළ වීම වළක්වා ගැනීමයි. මේ වන තෙක් ඒ උපක්‍රමය සාර්ථක ව ක්‍රියාත්මක වෙමින් පවතී.

රටේ කොතැනක උදාගමක් විවෘත කළත් සෑම දිස්ත්‍රික්කයකම පෝස්ටර් අලවනු ලැබේ. ඇමැතිවරයාගේ ප්‍රතිරූපය පිම්බීම සඳහා කෙරෙන මේ කටයුත්ත මුලින් ම කෙරුණේ ඔහුගේ පියාගේ කාලයේ දී ය. අද තරම් දියුණු තියුණු ප්‍රචාරක විධි නොතිබුණු ඒ කාලයට නම් පෝස්ටර් ඇලවීම පලදායක් වුවත් අද යුගයට පලක් නැති පෝස්ටර් ඇලවිල්ල වෙනුවෙන් විශාල මුදලක් නිවාස අධීකාරියට දරන්නට සිදු වී තිබේ. උදාගමක් විවෘත කෙරෙන විට නිවාස අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාල විසිපහට ම පෝස්ටර් බෙදා දෙනු ලැබේ. දිස්ත්‍රික්කයේ කැපී පෙනෙන තැන්වල ඒවා අලවන්නට වගබලා ගැනීම දිස්ත්‍රික් කළමනාකරුගේ වගකීම ය. විශේෂයෙන් ම උදාගම විවෘත කෙරෙන උත්සවයට ඇමැතිවරයා ගමන් ගන්නා මාර්ගය ඇතුළත් වන දිස්ත්‍රික්කවල කළමනාකරුවන්ට නම් එය ජීවිතයත් මරණයත් අතර සටනක් හා සමාන ය. (හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගමක් විවෘත කරන්නට ඇමැතිවරයා යද්දී ඒ උත්සවයට අදාළ පෝස්ටර් පාර දෙපස දකින්නට නොලැබීම නිසා මාතර දිස්ත්‍රික් කළමනාකරුට වහා ම ක්‍රියාත්මක වන පරිදි ප්‍රධාන කාර්යාලයට ස්ථාන මාරුවක් ලැබුණේ ඒ නිසා ය.) මේ පෝස්ටර් අලවනු ලබන්නේ නිවාස අධිකාරියේ සේවකයන් දෙදෙනකු හෝ තිදෙනකු විසිනි. ඒ සඳහා අතිකාල දීමනා වශයෙන් එකී සේවකයන්ට එක් අයකුට රුපියල් 10,000ක පමණ මාසික ව ගෙවනු ලැබේ.

නිවාස අධිකාරියේ උත්සව සංවිධානය, මූලික ප්‍රචාරක කටයුතු, මුද්‍රණ කටයුතු සහ නාම පුවරු සැකසීම සිදු කරනු ලබන්නේ තොරතුරු හා ප්‍රචාරක කොට්ඨාසයෙනි. මේ කොට්ඨාසයේ කටයුතු සඳහා වසරකට වැය වන මුදල සාමාන්‍යයෙන් රුපියල් කෝටි එකහමාරත් කෝටි දෙකත් අතර පැවැතිණි. එහෙත් 2015 වර්ෂයේ සිට ඒ මුදල වසරින් වසර වාර්තාගත ලෙස වැඩි වෙමින් පවතී. ඒ මෙසේ ය.

2015 රු. මිලියන 23.462 (දෙකෝටි තිස් හතර ලක්ෂ හැට දෙදාහයි)
2016 රු. මිලියන 35.509 (තුන් කෝටි පනස්පන් ලක්ෂ නව දාහයි)
2017 රු මිලියන 119.168 (එකොළොස් කෝටි අනූ එක් ලක්ෂ හැට අට දාහයි.)
2018 රු. මිලියන 298.420 (විසි නව කෝටි අසූ හතර ලක්ෂ විසි දාහයි.)

නිවාස අධිකාරියේ වාර්ෂික අනුමත අයවැයෙන් උපුටා ගත් මේ සටහනට අනුව තොරතුරු හා ප්‍රචාරක කොට්ඨාසයේ වියදම 2015 සිට මේ වන විට දස ගුණයකටත් වඩා වැඩියෙන් ඉහළ ගොස් ඇත.

සුගත් පෙරේරා
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here