යාපනයේදී සිංහල පොලිස් නිලධාරීන් 20කගේ ජීවිත බේරූ දමිළ පොලිස් හදවත අවසන් ගමනේ…

0
110

තම ජීවිතය පරදුවට තබා 1984 වසරේදී යාපනයේ චාවාකච්චේරී පොලීසියේ සිංහල ජාතික පොලිස් නිලධාරීන් විසි දෙනෙකුගේ ජීවිත ආරක්ෂා කොට දුන් දෙමළ ජාතික පොලිස් සැරයන්වරයා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

බාලසිංහම් ක්‍රිෂ්ණපිල්ලේ නැමති මෙම පොලිස් සැරයන්වරයා එවකට චාවාකච්චේරී පොලීසියේ සේවය කරමින් සිටියදී  එම පොලීසියට ප්‍රහාරයක් එල්ල කොට තිබුණා.

ආයුධ සන්නද්ධව පැමිණි පිරිසක් සිංහල ජාතික පොලිස් නිලධාරීන්ව සොයමින් සිටියදී  පොලීසියේ සේවය කළ සිංහල ජාතික පොලිස් නිලධාරීන් විසි දෙනාම රහසිගතව සඟවා ගත් මෙම දෙමළ ජාතික පොලිස් සැරයන්වරයා වෑන් රථයක් කැඳවා එම සිංහල ජාතික පොලිස් නිලධාරීන් විසි දෙනාම එම වෑන් රථයේ දමා අලිමංකඩ යුද හමුදා කඳවුර වෙත යවා ඔවුන්ගේ ජීවිත බෙරා ගත්තා.

අලිමංකඩ හමුදා කඳවුරට ගිය පොලිස් නිලධාරීන් පහරදීමේ සිද්ධිය ගැන කියා සිටි අවස්ථාවේදී යුද හමුදාව පැමිණ චාවාකච්චේරී පොලීසිය බේරා ගෙන තිබුණා.

මෙම සිංහල ජාතික පොලිස් නිලධාරීන්ව බේරා ගැනීම නිසා උරණ වූ අදාළ පිරිස් ක්‍රිෂ්ණපිල්ලේ සැරයන්වරයාව ඝාතනය කිරීමට අවස්ථා කිහිපයක්ම උත්සහ දරා තිබුණා.

පොලිස් සේවයෙන් විශ්‍රාම ලැබීමෙන් පසුව වයස අවුරුදු 82 ක් ජීවත් වූ මෙම සැරයන්වරයා යාපනයේදී මෙලෙස අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද  (03) සවස පොලිස් ගෞරව මධ්‍යයේ සිදු කිරීමට නියමිතයි.

දිනසේන රතුගමගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here